ඖෂධ වලට 18%ක වට්ටමක්

ඖෂධ අලෙවි කිරීමේ දී 18%ක වට්ටමක් ලබාදිම සඳහා ඖෂධ වාණිජ මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ ලංකා ඖෂධ අලෙවිකරුවන්ගේ සංසදය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් පසුගියදා ඉල්ලා සිටියේය.

එම සංගම් දෙකේ සභාපතිවරුන් සහ නිලධාරී මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ සමාගම් සියයට 18 ක් ව තිබූ වට්ටම් මුදල මේ වන විට අඩු කර ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පෙන්වා දුන්නේය.

ඇතැම් ඖෂධවල වට්ටම් මුදල සියයට 5 දක්වා අඩු කර ඇත.

මේ නිසා ඔසුසල් පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව ඇති අතර, මෙම ඉල්ලීම පිළිබදව ඖෂධ වාණීජ මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට තීරණය කරන ලදි.

තව ද වෛද්‍යවරුන් විසින් තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල ඖෂධ ගබඩා කිරීම නිසා ද ඔසුසල්වල ඖෂධ අලෙවියට බාධා පැමිණ ඇති බව මෙහිදී අනාවරණ විය.

එලෙස පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ ගබඩා කර ඇත්නම් එම ස්ථාන ෆාමසියක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. ඒ පිළිබද රෙගුලාසි ඉදිරියේ දී ගැසට් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ඩොලරයේ මිල ඉහළ යාම නිසා ඖෂධ අලෙවි කිරීමේ දී සහනයක් ලබාදෙන ලෙස ඖෂධ වාණීජ මණ්ඩලය ඉල්ලා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සදහන් කළේය.

ඒ පිළිබදව අධිකාරියේ මිල කමිටුව මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Exit mobile version