අලි රොෂාන්ට එරෙහි නඩු විභාගයට අධිකරණයට බලයක් තිබේ ද? නැද්ද?

Share

බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව විභාග කිරීමට තම අධිකරණයට බලයක් තිබේද නැද්ද යන තීරණය ලබන 07 වනදා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර තිබුණි.

මෙම මූලික විරෝධතාව පිළිගෙන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද එම නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබන 07 වැනිදා ප්‍රකාශ කරන බව අධිකරණය නියම කළේය.

බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් හතරදෙනකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තුළින් වනසත්ව හා වෘක්ශලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා 24 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News