ජනපතිගෙන් සයිටම් ගැටලුව විසඳීමට නව කමිටුවක්

Share

මාලඹේ සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, එම යෝජනාවලට ඇතුළත්වී නොමැති ගැටලු සහගත කරුණු තිබේ නම් එම කරුණු ද සලකා බලා අවශ්‍ය විසඳුම් යෝජනා කිරීම සඳහාත් ජනාධිපති ත්‍රෛීපාල සිරිසේන මැතිතුමා විසින් අදාළ සියලු පාර්ශවයන්ගෙන් සැඳුම්ලත් නව කමිටුවක් පත් කිරීමට තීරණය කොට ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කොට ඇති හා යෝජනා කර ඇති විසඳුම් ක්‍රියාමාර්ග ගැන සලකා බලා තවදුරටත් යම් ගැටලුවක් තිබේනම් ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකට ආරාධනා කරන අතර, සංත්‍යග්‍රහ, උපවාස හා විරෝධතාවලින් ඉවත් වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඇතුළු සියලු ම පාර්ශවයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
දැනට ඉදිරිපත්වී ඇති යෝජනා පිළිබඳ ව විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන්, වෛද්‍යපීඨයන්හි පීඨාධිපතිවරුන්, රජයේ වෛද්‍ය නිලධෘරී සංගමයේ නියෝජිතයන් ද ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමග පසුගිය දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේ දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කොට ඇත.
එම සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් ව ඇති විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම නව යෝජිත කිමිටුව වෙත පැවරේ.

Read more

Local News