සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රියගේ දායකත්වය කැපී පෙනෙයි – අගමැති

Share

නව ලොව තාක්‍ෂණ, සන්නිවේදන, අධ්‍යාපන, විද්‍යා, සාහිත්‍ය කලා, සංස්කෘතික මේ සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රියගේ දායකත්වය කැපී පෙනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

”ස්ත්‍රී පුරුෂ සමභාවී සමාජ භාවිතය සවිබල ගැන්වීම සඳහා වඩාත් සුදුසු සහ විශිෂ්ට අවස්ථාවක් දැන් ලෝකය හමුවේ උදා වී ඇත. මේ වන විට නව ලොව තාක්‍ෂණ, සන්නිවේදන, අධ්‍යාපන, විද්‍යා, සාහිත්‍ය කලා, සංස්කෘතික මේ සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රියගේ දායකත්වය කැපී පෙනේ.

එමෙන්ම ලෝකය තුළ තිරසර ජීවන පැවැත්මක් සහතික කරගැනීම උදෙසා බොහෝ බාධක සහ අභියෝග මැද, අප්‍රමාණ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සමඟ සාර්ථක ඉදිරි ගමනක් පැමිණීමට කාන්තාව සමත් වී ඇත. ඇය මෙතෙක් ලැබූ ජයග්‍රහණයන් සමස්ත සමාජය ලද ජයග්‍රහණයකි. මන්දයත් කාන්තාව පවුල සහ සමාජය තුළ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරන බැවිනි.

පසුගිය කාලයේ අප රට මුහුණ දුන් විවිධ සමාජ, දේශපාලන අර්බුද අවස්ථාවන්හි දී පෙරට ආ කාන්තාවන් වඩාත් නිර්භයව සහ ධෛර්ය සම්පන්නව කටයුතු කරන ආකාරය අපි අත්දැක්කෙමු. පොදු සමාජ යහපත වෙනුවෙන් ඔවුන්ගේ මැදිහත්වීම සහ කැපවීම ඉතා විශිෂ්ට ය. “සුහුරු කතක් – සොඳුරු ලොවක්” යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන අප, වඩා යහපත් සමාජයක් උදෙසා කාන්තාවගේ නිරන්තර කාර්යක්‍ෂම දායකත්වය අගයමින් සහ දිරි ගන්වමින් ඇයගේ ඉදිරි ගමනට පන්නරයක් සහ අත්වැලක් වීමට අදිටන් කරගනිමු.”

Read more

Local News