පොල් ගෙඩියක් රුපියල් 65ට සතොසෙන්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ ලබන අගහරුවාදා සිට පොල් දොලොස් ලක්ෂයක් සතොස හරහා බෙදා හැරීමට පියවර ගන්නා බවයි.

පොල් ගෙඩියක් රුපියල් 65ක මිලකට අළෙවි කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කළ සතොස සභාපති ආචාර්ය ටී එම් කේ බී තෙන්නකෝන් මහතා එම පොල් තොග ලැබෙන වහාම සතොස ශාඛා වෙත නිකුත් කිරිමට පියවර ගන්නා බවද කියා සිටියේය.

ජීවන වියදම් කමිටුවේ ඉල්ලීම මත හලාවත වැවිලි සමාගම මසකට පොල් ලක්ෂ තුනක්, ඇල්කඩුව වැවිලි සමාගම මසකට පොල් ලක්ෂයක් සහ ජාතික පශු සම්පත් මණ්ඩලය නොවැම්බර් මස 15 වනදා සිට 30 වනදා දක්වා පොල් ලක්ෂ පහකුත්, පශු සම්පත් මණ්ඩලය දෙසැම්බර් මාසයේ දී පොල් ලක්ෂ 10ක් ලබා දීමට එකගවී ඇතැයිද සතොස සභාපතිවරයා කියා සිටියේ ය.

පොල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවට විසදුම් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් විකමසිංහ මහතා ජීළුන වියදම් කමිටුවට ලබා දී ඇති උපදෙස් වලට අනුව ලාභ නොලබා මෙම පොල් ලබා දීමට මෙම වැවිලි සමාගම් එකගතාවය පළ කර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත ලබන අගහරුවාදා සිට රට පුරා ඇති සතොස ශාඛා 370ක් වෙත මෙම පොල් බෙදා හැරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ සභාපතිවරයා අගහරුවාදා සිට පොල් තොග සතොස වෙත ලබා දීමට එම වැවැලි සමාගම් එකගතාවය පළ කළ බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට එක් වූ හලාවත වැවිලි සමාගමේ සභාපති අනිල් හේරත් ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නිලු විජේදාස, පශු සම්පත් මණ්ඩලයේ සභාපති උපාලි ජයවර්ධන යන මහත්වරුන් කියා සිටියේ ජීවන වියදම් කමිටුව සිදු කළ ඉල්ලීමට අනුව ලාභයක් නොලබා අදාළ පොල් තොග සතොස වෙත ලබා දීමට තම සමාගම් එකගත්වය පළ් කළ බවය.

පොල් ඵලදාව අඩු වීමට නියගය ඇතුලු හේතුන් ගණනවක් බලපෑ බව කියා සිටි ඔවුන් රජය ජනතාව වෙත සහන මිලට පොල් ලබා දීමට සිදු කළ ඉල්ලීමට අනුව පොල් තොග ලබන අගහරුවාදා සිට සතොස ගබඩා වෙත ලබා දීමට කටයුතු කරන බවය.

Read more

Local News