සුඩාන ජනපතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව එරට වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් වීථි බැස ඇත.

එය, එරට පැවති දැවැන්තම විරෝධතා වලින් එකක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ගේ තිස් වසරක පාලනය අවසන් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

කාර්ටොම් අගනුවරදී පැවැත්වෙන මෙම විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බව සඳහන්ය.

සුඩාන ජාතික ධජ අතැතිව විරෝධතාවේ නිරත පිරිස් තමාට නිදහස, සාමය සහ සාධාරණත්වය අවශ්‍ය බවද එහිදී අවධාරණය කර සිටියේය.

බෂීර්ගේ පාලනය යටතේ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මූල්‍ය වංචා සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතවී ඇත.

එහිදී ඇතැම් විරෝධතාකරුවන් පලාගොස් ඇති නමුත් තවත් පිරිසක් ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් එහිම රැඳී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එරට පැවති දැවැන්තම මහජන විරෝධතාව මෙය විය හැකි බවද සුඩාන වාර්තා පවසා සිටියි.

Exit mobile version