සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනී

මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ 16 හැවිරිදි පාසල් සිසුවියක් තම නිවස තුළදී ඊයේ (08) පස්වරුවේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, මස්කෙළිය, බ්ලූම්ෆීල්ඩ් දෙමළ මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් මෙවර 2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් ලෙස සමත්ව ඇති සිසුවියකි.

තම නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ කාමරයක් තුළ මවගේ සාරියක ආධාරයෙන් පරාලයක එල්ලී මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

තම එකම දියණිය බාල්කයක එල්ලී සිටින අයුරු දැක ඇති ඇගේ මව වහා සාරිය කපා දමා අසල්වැසියන් සමඟ එක්ව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරන විටත් මෙම සිසුවිය මිය ගොස් සිටි බවට වෛද්‍යවරු පැවසූ බව පොලීසිය පවසයි.

මෙම සිසුවියගේ පියා, ඇය කුඩා කාලයේදීම හැර ගොස් ඇති බව පොලීසිය පවසයි.

මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) දහවල් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version