බෝම්බකරුට ප්‍රවාහන පහසුකම් දුන් ත්‍රිරෝද රියදුරන් හා ලැගුම්හල් හිමිකරු අත්අඩංගුවට

Share

දෙහිවල සත්ත්වෝද්‍යානය අසල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ කාමරයක් තුළදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහනපහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු ඊයේ (22දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි.

එම ත්‍රිරෝද රථ දෙක පොලීසිය භාරයට ගත් බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

බෝම්බය පුපුරුවා ගත් පුද්ගලයා මහනුවර, වෙල්ලම්බඩ පදිංචිව සිටි අබ්දුල් හලීෆ් ජමිල් මොහොමඩ් නමැත්තා බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

ඉකුත් 21 වැනිදා පෙ.ව. 10.30ට පමණ ජමිල් මොහොමඩ් නමැත්තා වැල්ලවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයකට නැග එහි රියදුරුගෙන් දෙහිවල ප්‍රදේශයේ නවාතැන්පොළක් විමසා ඇති අතර, රියදුරු ඔහු දන්නා හඳුනන ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත පැමිණි පුද්ගලයා එම ස්ථානයටඇරලවා පිටවී ඇතැයි පොලීසිය කියයි.

විනාඩි කිහිපයක් පමණ ලැගුම්හලේ කාමරයේ ගතකර ඇතිජමිල් මොහොමඩ් නමැත්තා බෝම්බය සහිත ගමන්මල්ල එම කාමරයේ තබා පා ගමනින් දෙහිවල නගරයේ කතෝලික දේවස්ථානය ආසන්නයට පැමිණ එහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කර ඇතැයිද, ඒ අයුරින් අවස්ථා දෙකකදී ඒ අවට සැරිසරා ඇතැයිද පොලීසිය කියයි.

මීට පෙර අවස්ථා දෙකකදී එම දේවස්ථානය සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බැවින් එය වැළැක්වීම සඳහා පොලිස් මුරපොළක් හා සමානව එම දේවස්ථානයට ආරක්ෂාව සපයා තිබූ බව පොලීසිය කියයි.

එදින උදෑසන කොච්චිකඩේ, මීගමුව හා මඩකලපුවේ දේවස්ථානවල බෝම්බ එකිනෙක පිපිරවීමත් සමග දෙහිවල කතෝලික දේවස්ථානයේ ආරක්ෂාව තර කර පැමිණෙන බැතිමතුන් පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් බෝම්බකරුට බෝම්බ බෑගය රැගෙන එයට ඇතුළුවීමට නොහැකි බව පෙනීයාම හේතුවෙන් ඔහු ලැගුම්හල වෙත නැවත ගොස් පැමිණ තිබූ බව පොලීසිය කියයි.

එම බෝම්බකරුගේ හැසිරීම පිළිබඳ එහි සේවකයන්ට සැකයක් හටගෙන ඇති බව දැනගත් බෝම්බකරු බෝම්බය පුපුරවාගන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කළ හැකි බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් මොරටුව එගොඩඋයන හා දෙහිවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙයි

Read more

Local News