ජාතික ‌වෙසක් දිනය කිසි ‌හේතුවක් නිසා ‌වෙනස් කරන්නේ නෑ – වජිර

Share

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්, එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, අකුරටියේ නන්ද හිමියන්, මහාචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්නයත්, අමාත්‍යාංශ ලේකම්, ගාල්ල දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

”ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා.

ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා ආරක්ෂාව පිළිබඳ තහවුරු කර තිබෙනවා.

ජාතික වෙසක් උත්සවය පවත්වන හික්කඩුව තොටගමුව රන්පත් රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිම බාධාවකින් තොරව සිදුකෙරෙනවා.

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් කෝටි ගණනක සංවර්ධන කටයුතු එම විහාරස්ථානය මුල්කරගෙන සිදුකරනවා.

කිසිම හේතුවක් නිසා ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීම නවත්වන්නේ නැහැ. ඉදිකිරීම්, සැරසිළි කටයුතු දැනටමත් කරනවා. මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත් සමස්ථ ශ්‍රී ලංකාවේමත් වෙසක් සැමරීම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට අපි කටයුතු යොදනවා.

රජයක් ලෙස ඊට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබනෙවා.  නමුත් ඇතැම් වෛරී දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්‍රචාර කරගෙන යනවා.

ගාල්ලේ ඉස්ලාම් පල්ලි පරීක්ෂා කළේ නැහැ කියනවා. පරීක්ෂා කිරීම්වටල අපි ඉඩ දුන්නේ නැහැ කියා කියනවා.

බෝම්බ ප්‍රහාරය සිදුවූ වහාම අපි ගාල්ලේ ආරක්ෂක කමිටුව කැඳවලා ගාල්ල දිස්ත්‍රික්කයේ ම තිබෙන සියලුම මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න කියා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා.

එපමණක් නොවෙයි ගාල්ලේ සැකකටයුතු යම් ස්ථානයක් තිබේනම් එය ද පරීක්ෂා කරන්න කියා අපි ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවූ දිනයේ ම උපදෙස් දී තිබෙනවා.

දැන් ඒ පිළිබඳ වාර්තා පවා අපි ලබාගත්තා. සමාජ ජාල ඔස්සේ වෛරය වපුරවමින් රටේ ජාතිවාදය අවුස්සා කෝලාහල ඇතිකරන්න උත්සාහ ගන්නා පිරිස්, දේශපාලන පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න උත්සාහ ගන්නා පිරිස් පතුරුවන අසත්‍ය කතා වලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි.

මෙවැනි අය පිළිබඳ දැන් රහස් පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. ජාතිවාදය පතුරුවන එවැනි අයට සුදුසු දඬුවම් ඉදිරියේ දී නීත්‍යානුකූළවම ලැබේවි.”

Read more

Local News