මට මුලින්ම කඩුවෙන් ගැහැව්වේ සහරාන් – කඩු පහරින් තුවාල ලැබූ මුසාෆීර්

Share

තවුහීත් ජමාත් නායක සහරාන් හෂීම් හා එක්ව තමාට කැපුම් තුවාල කළ පුද්ගලයන් සිව්දෙනකුගෙන් දෙදෙනෙකු කාත්තන්කුඩි නගරයේ පසුගිය දිනවල නිදහසේ ගැවසෙමින් සිටි බවට ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ කාත්තන්කුඩියේ මුහම්මදු මුසාෆීර් නමැත්තා අවධාරණය කරයි.

තවුහීත් ජමාත් සංවිධානය, සිය ධර්මය වෙනුවෙන් මිනිසුන් මරා දැමීමේ ජිහාඩ් අරගලය ආරම්භ කරමින් 2017.03.10 දින කාත්තන්කුඩියේ ආලියා හන්දියේදී කළ පහරදීමෙන්  මුසාෆීර් බරපතල ලෙස තුවාල ලැබුවේය.

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් කාත්තන්කුඩි ආලියා මංසන්ධියේ දී  මුස්ලිම්වරුන්ගේ රැස්වීමකට කඩු පොලු අතැතිව කඩා වැදී පහර දෙන  වීඩියෝවක් භික්ෂූ සංවිධානයක හිමිනමක්  විසින් පසුගියදා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.

වසර දෙකකට ඉහතදී සිදුවූ මෙම පහරදීමෙන් කැපුම් තුවාල සහිතව දිව ගොස්  දිවි බේරාගත් කාත්තාන්කුඩියේ පදිංචි මුහම්මදු මුසාෆීර් මෙලෙස අදහස් දක්වීය.

“නැගෙනහිර පළාතේ ජිහාඩ් අන්තවාදී සංකල්පය ව්‍යාප්ත කරන්න සහරාන් හෂීම් 2017 වසරේදී ලොකු උත්සහායක් ගෙන තිබුණා. මොහුට එරෙහිව ශ්‍රී ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් ලොකු විරෝධයක් මතුවුණා.

ඒ ආකාරයෙන් 2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩිය ආලියා මංසන්ධියේ සහරාන්ගේ අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන්ගෙන් යුත් සූෆි මුස්ලිම් සංවිධානය විරෝධතාවක් පවත්වමින් සිටියා. මමයි මගේ මස්සිනයි ඒ රැස්වීමට සහභාගී වුණා. ඒ වෙලාවේ තැඹිලි පාට කමිස ඇඳ, කඩු කිනිසි පොලු රැගෙන සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් පිරිසක් එම ස්ථානයට කඩා වැදුණා. මේ පුද්ගලයින් එතැන සිටි අයට පහරදෙන්න ගත්තා. මගේ මස්සිනාට මුලින්ම පහර දීල සහරාන් ඇතුළු සිව් දෙනෙක් මාව වටකරගත්තා.

අල්ලා දෙවියන්ගේ නාමයෙන් ජිහාඩ් සටන ඇරඹුවා කියලා  කෑමොර දෙමින් අල්ලාහ් අක්බර් කියාගෙන සහරාන් ඔහු අතැති කඩුවෙන් මට පහරදීම ආරම්භ කළා.

සහරාන්ගේ මල්ලීත්, පසුගියදා සයින්දමරුදු නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් මරණයට පත් වෙච්ච රිල්වාන් සහ තවත් දෙදෙනකු වන නියාස් සහ අජුවත් කියන සිව්දෙනත් ජිහාඩ් දිනේවා කියාගෙන මට කඩුවලින් ගැහැව්වා. මට මුලින්ම කඩුවෙන් ගැහැව්වේ සහරාන්.

ඔහු ඉතා සිනාමුසුව තමයි මට කඩුවෙන් ගැහැව්වේ. ගොඩක් අමාරුවෙන් තමයි මම එතනින් බේරුණේ. මට එතනින් එහාට කිසිවක් මතක නෑ” යයිද මුහම්මදු මුසාෆීර් කීවේය.

Read more

Local News