වත්මන් රජය නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවද ?

Share

වත්මන් රජයේ නායකත්වය තීන්දු තීරණ නොගන්නා බවට චෝදනා කරන පිරිස් වලට අවශ්‍යව ඇත්තේ නිදහසින් තොර පසුගිය රජයේ පාලනයක් දැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කර සිටියි.

දිවයින පුරා නව සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 06 කට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට රජය පියවර ගෙන ගත් අතර ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 4500 කට ප්‍රතිලාභ බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ දි ඊයේ(01) දහවල් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“වත්මන් රජය ජනතාවට සහනාධාර රැසක් ලබාදී තිබෙනවා.

සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 06 කට සමෘද්ධි සහනාධාරය ලබාදීමට තීරණය කළේ එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරමින්.

එක්සත් ජාතික පක්ෂය ධනපති පන්තියේ පක්ෂයක් බවට ඇතැම් අය චෝදනා කරනවා. නමුත් වත්මන් රජය සහනාධාර රැසක් 2015 වසරේ සිට මේ දක්වා ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවූ අතර, වසර 2020 වනවිට එක් රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 25400 ක් දක්වා වැඩි වෙනවා.

මෙවැනි වැටුප් වැඩිවීමක් මීට පෙර සිදු කෙරුණේ නැහැ. මෙවැනි වැටුප් වැඩිවීමක් ලබාදෙන විට අග්‍රාමාත්‍යවරයාගෙන් ඇතැම් අය විමසා සිටියා වැටුප් වැඩිවීමක් ලබාදෙන්න පුළුවන් ද කියලා.

නමුත් එය ඉටු කළා. සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කළ අතර, සරසවි සිසුන්ගේ මහපොල දීමනාව ද වැඩිකර තිබෙනවා.

මහපොල දීමනාව එලෙස ලබාගෙන දියව්, දියව් කියා පාරේ කෑගහනවා. ජනතාව උකස් කර ලබාගත් ණය වල පොලිය කපා හැරි අතර, ගොවි ණය ද කපා හැරියා. දුප්පත් ජනතාවට මෙවැනි සහන ලබාදුන් රජයක් මෙතෙක් තිබුනේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක් නොවෙයි. ධනපතීන්ගෙන් අය කරන බදු වලින් දුප්පත් ජනතාවට සළකනවා.

වත්මන් රජය නිර්ධන පන්තියේ රජයක් ලෙසයි මම දකින්නේ. සෞඛ්‍ය සේවාවන් ඉටු කිරීමේ දී ද විශිෂ්ට මෙහෙවරක් සිදු කර තිබෙනවා.

දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ රාජපක්ෂ සිරිසේන එකතුව ඖෂධ හිඟයක් නිර්මාණය කළා.

ඖෂධ ආනයනය කළේ නැහැ. බඩු මිල ඉහළයාම ගැන කථා කරන ඇතැම් පිරිස් වලට නොමිලේ සෞඛ්‍ය සේවා විධිමත් කිරිම තුලින් මිනිස් ජීවිත ශක්තිමත් කිරීම පිළිබදව කථා කිරීමට ශක්තියක් නැහැ.

වත්මන් රජය සෞඛ්‍ය සේවාවන් සදහා විශාල ලෙස මුදල් වැය කරනවා. වත්මන් රජය බලයට පත්වූයේ රට වෙනස් කිරීමටයි. අපි මියයාමට සිටි ජනතාවට යළි ජීවය ලබාදුන්නා. අපේ රජය තුලත් වැරදි තිබෙන්න පුළුවන්.

වැරදි නැති රජයන් ලොව කොතනකවත් නැහැ. වත්මන් රජයේ නායකත්වය තීන්දු තීරණ ගන්නේ නැහැ කියලා ඇතැම් අය චෝදනා කරනවා.

ඔවුන්ට අවශ්‍ය පසුගිය රජය සමයේ මෙන් මිනිස් ඝාතන, දුෂණ වංචා, නිදහසක් නොමැති රජයක් දැයි මම ප්‍රශ්න කරනවා. වර්තමානයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් විවේචනය කරනවා.

අපේ රජය ලබාදුන් නිදහස රාජපක්ෂලත් භුක්ති විදිනවා. පළාත් පාලන මැතිවරණයේ දී එම නිදහස භුක්තිවිදිමින් පොල් බෑය ගැනයි කථා කළේ. මෙම නිදහස ලබාදුන්නේ කවුද කියා සිතමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව මම අවධාරණය කර සිටිනවා.” යනුවෙන් පැවසීය.

Read more

Local News