පී 626 නෞකාව ගජබාහු නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව ඊයේ(06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වන දින හවායි දුපතේ හොනොලුලු හිදි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම නෞකාව දිගින් මීටර් 115 ක් වන අතර, පළලින් මීටර් 13 කින් යුක්ත වේ.

පැයට මුහුදු සැතපුම් 28 ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 3302 ක ධාරිතාවයකින් සමන්විත වේ.

මෙම නෞකාවේ නිලධාරීන් 22 දෙනෙකු ඇතුළු 111 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

මෙම නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ.

ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

Exit mobile version