යෝජිත විගණන පනත කඩිනමින් සම්මත විය යුතුයි – විගණකාධිපති

Share

යෝජිත විගණන පනත තුළ රාජ්‍ය සේවයේ යහපාලන වෙනුවෙන් නව වැඩපිළිවෙළකට යාමේ ක්‍රමවේදයක් දක්නට ලැබෙන බවත් එම පනත කඩිනමින් සම්මත විය යුතු බවත් විගණාකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. මෙම යෝජිත විගණන පනතේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අතර එහිදී ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය. ඒ මහතා ප්‍රකාශ කළේ මෙම පනත ප්‍රමාද වීම තුළ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා ඇති වී තිබෙන බවයි. මෙම පනතේ දක්වා ඇති අධිභාරය සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති නොකරගත යුතු බව පෙන්වා දුන් ඒ මහතා රජයට සිදු කරනු ලබන පාඩුවක් පූර්ණය කරවා ගැනීමක් සිදු වන අතර එහිදී විගණාකාධිපතිවරයා විසින් ඒ සඳහා සහතිකයක් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙත නිකුත් කරනු ලබන බව විජේසිංහ මහතා සඳහන් කළේය. මෙම විධිවිධාන අනුව අධිභාරයක් පැනවීම සඳහා කොන්දේසි 3ක් සම්පූර්ණවිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව යම් ලිඛිත නීතියකට පටහැනිව ගනුදෙනුවක් සිදු වී තිබීම, එම ගනුදෙනුව හේතුවෙන් වංචාවක්, නොසැලකිල්ලක්, අයථා පරිහරණයක් හෝ දූෂණයක් මඟින් අදාළ විගණිත ආයතනයට ඌණතාවක් හෝ පාඩුවක් සිදු වී තිබීම සහ ඉහත කරුණු සිදු වී ඇති බවට විගණකාධිපතිවරයාට විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාධාරණ හේතු තිබීම යන්න එම කරුණු තුන වේ. මෙම අධිභාර ක්‍රියාවලිය නිසා රටේ සංවර්ධනයට කිසිදු ආකාරයක අඩාල වීමක් සිදු නොවන අතර රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනයට අධිභාරය මඟින් බලපෑමක් සිදු නොවන බවත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අවස්ථාවට ලැබෙන බවත් විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News