කසළ ගැටළුව විසඳන්න සියළු කටයුතු සූදානම් – ඇමති චම්පික රණවක

Share

සියවසක කසළ ගැටළුව විසඳන්න සියළු කටයුතු සූදානම් බවත් අනාගත පරපුරේ නාමයෙන් ඒ සඳහා බාධා නොකරන්න යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (17) කරදියාන කසළ අංගනයේ දී පැවති ‘නිකසළ ජවය’ කසළින් විදුලිය නිපදවීමේ වැඩසටහනේ තෙවන ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිකිරීම් ආරම්භ වූ අතර ෆෙයාවීල් හෝල්ඩින්ග්ස් ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. දිනකට කසළ ටොන් 500 කින් විදුලිය මෙගා වොට් 10 ක් නිපදවීමට මෙමගින් බලාපොරොත්තු වන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය අධික්‍ෂණය කරනු ලබයි. “2007 දී මම පරිසර ඇමතිවරයාව සිටියදී මේ කරදියාන පිළිබඳව මට මුලින්ම ලැබුණේ පැමිණිල්ලක්. මෙම වටිනා පරිසර පද්ධතියක් හිමි ස්ථානයට කසළ ගෙනවිත් දමා විශාල ව්‍යසනයක් සිදු වෙමින් පවතිනවා යැයි පරිසර සංවිධාන ගණනාවක් විසින් මට දැනුම් දීමක් කළා. ඒ අනුව මා මෙහි පැමිණ සොයා බැලීමේදී මෙම ඉඩම් හි අයිතිය තිබුණේ පුද්ගලයින් කිහිප දෙනෙකුට. ගෝල්ඩන් සන්රයිස් නම් සමාගම විසින් තමයි මෙම කසළ කළමනාකරණය එම කාලයේ සිදුකරනු ලැබුවේ. එහිදී මට පෙනී ගියා අපේ ප‍්‍රදේශවල කසළ දැමීමට තැනක් නොමැතිවීම නිසා මෙම ගැටළු පැන නැගී ඇති බව. එම තත්වයම බ්ලූමෙන්ඩල්වලත් තිබුණා. මධ්‍යම පරිසර අධිකාරියත් මෙම ස්ථානවලට කසළ ගෙන එන සමාගම්වලටත් නඩු පවරන ලෙස තමයි එම පරිසර සංවිධාන විසින් මාගෙන් ඉල්ලා සිටියේ. එනමුත් පැවති තත්වය මත අපි තීරණය කළා කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් වැඩසටහනක් සෑදිය යුතුයි කියලා. මධ්‍යම පරිසර අධිකාරියට තිබුණේ නඩු දැමීමේ බලය පමණයි. නමුත් අපි නිර්මාණය කරනු ලැබුවා පිළිසරු නමින් ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට රජයේ අරමුදල් ලැබුනේ නැහැ. එම අවස්ථාවේදී මා විසින් ප්ලාස්ටික්වලින් බද්ධක් අය කිරීමට යෝජනා කළා. එම බදු මුදලින් පිළිසරු ව්‍යාපෘතිය අපි දියත් කළා. මෙරට ප‍්‍රාදේශීය සභා නගර සභා 338 ක් තිබෙනවා. වසර දෙකක පමණ කාලය තුළ ඒවයින් 70ක පමණ පිළිසරු ව්‍යාපෘතිය දියත් කළා. අද වනවිට එම ප‍්‍රමාණය 130 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. කණගාටුවට කාරණය නම් අපේ ආණ්ඩු අධිවේගී මාර්ග හදන්න ඒ වගේම ජලාශ හදන්න නගර හදන්න වියදම් කලාට කසළ කළමනාකරණයට මුදල් ලබාදුන්නේ නැහැ. ඒ නිසා මේ ගැටලු ව ඉදිරියට ගෙනයන්න මේ පිළිබඳ ශක්තිමත් විසඳුම් සොයන්න ප‍්‍රධාන බාධාවක් ඒ තුළින් ඇති වුණා” යැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය. මේ වන විට ස්ථාවර කර ඇති මීතොටමුල්ල ඉදිරි වසර තුන තුළදී නාගරික උද්‍යානයක් ලෙස සකස් කිරීමට කටයුතු කරන අතර බ්ලූමෙන්ඩල් කසළ කන්ද තිබෙන ප‍්‍රදේශයත් වරාය අධිකාරියත්, රේගුවත් සමග එකතු වී විධිමත් සංවර්ධනයකට ලක්කරන බවත් කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ විධිමත් කසළ උද්‍යානයක් ඉදිකරගෙන යන අතර ම කොළඹ නගරයේ තිබෙන සියළුම කැළි කසළවලින් එම ස්ථානයේදී විධිමත් ප‍්‍රයෝජනයක් ගැනීඹට හැතිවන අයුරින් සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News