එජාපයේ අර්බුද ජනපතිවරණ සටනේදී සුබදායක නෑ – තිස්ස

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

පක්ෂය පිළිබඳ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම් සිතිය යුතු මූලිකම කාරණය වන්නේ ජයග්‍රහණය සඳහා බහුතර මහජන කැමැත්ත සහිත පුද්ගලයාව තෝරා ගැනීම හා ජයග්‍රහණය සඳහා සියලු දෙනාට එක්ව වැඩ කළ හැකි පුළුල් පරිසරයක් ගොඩනැඟීම බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිවාදී කණ්ඩායම් මේ වන විට ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර ඒ හා සමාන්තරව එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකළොත් ප්‍රචාරණ ව්‍යාපාරය කඩා වැටීම පමණක් නොව ජනතාව දිනා ගැනීමේ ව්‍යාපාරය ද අඩපණ වන බව තිස්ස අත්තනායක මහතා පවසයි.

පාවෙන ඡන්ද හා අලුත් ඡන්ද දායකයින්ගේ ඡන්ද දිනා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සිදු නොවුණ හොත් කිසිදු අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කළ නොහැකි වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි අයෙක් වීම බවත් ඔහු කියා සිටියේය.

නුසුදුසු අයෙක් ජනාධිපති කිරීම හරහා රට මහත් අගාධයකට ඇඳ වැටෙන බව තමන් මීට වසර 4කට පෙර කියා සිටි බවත් ඒ හේතුවෙන් තමන් ඉල්ලා අස් වු බවත් තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්ව කටයුතු කිරීමට ද තමන් සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version