සතොස හිටපු සාමාන්‍ය අධිකාරිවරයාට වසරක සිර දඬුවමක්

Share

රජයට රුපියල් මිලියන හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වසරක සිර දඬුවම් නියම කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 50000ක/- දඩයක් ද නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

විත්තිකරුට එරෙහිව සිරදඬුවමක් නියම කර ඇති බැවින් ඔහුට වන්දි ගෙවන ලෙස නියෝගයක් නොකරන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

2002 වසරේ ජූලි මස පල වනදා සහ එම මස විසි වනදා අතර කාලසීමාව තුළ සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කිරීම මගින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය උසස් නිලධාරීන්ගේ නියෝග මත විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එහෙත් තීන්දුව ප්‍රකාශ කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරු සතු සහ ආයතනය උසස් නිලයක් හෙබවූ පුද්ගලයෙකු බැවින් ඔහුට වගකීමකින් යුතුව කටයුතු කිරීමේ යුතුකමක් තිබූ බවයි.

කෙසේ වෙතත් මෙම සිර දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

Read more

Local News