වාහන හතරක් එකට ගැටී සිදුවු අනතුරකින් 11ක් රෝහලට

ගලේවෙල, මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අද (28) පෙරවරුවේ වෑන් රථයක්, ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මාර්ගය අසල නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් බව පොලීසිය සඳහන් කළේය.

අනතුර වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හත් දෙනෙකු ගමන් කරමින් සිටි බව ත්‍රිරෝද රථයේ රියදුරු සහ තුවාල ලැබූ අය සඳහන් කළේය.

අනතුරුදායක වංගුවක් සහිත ස්ථානයක රියදුරන් අපරික්ෂාකාරී රිය ධාවනය මෙන්ම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් හත් දෙනෙකු ප්‍රවාහනය කිරීම නිසා අනතුරු වළක්වා ගැනීමට නොහැකි වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ගලේවෙල පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version