ශනිල් නෙත්තිකුමාරට විදේශගත වීම සඳහා අවසර ඉල්ලයි

Share

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සහෝදරයකු වන විජිත් විජේසූරිය නැමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශනිල් නෙත්තිකුමාර මහතාට විදේශගත වීම සඳහා අවසර ලබාදෙන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව ලබන 02 වන දා වැඩිදුර කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය ඔහුගේ නීතිඥවරයාට නියම කළේය.

විත්තිය විසින් ඉදිරිපත් කළ මෝසමක් මත මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැප්තැම්බර් මස 9 වනදා සිට 12 වනදා දක්වා ඩුබායි හි පැවැත්වීමට නියමිත ලෝක බලශක්ති කොංග්‍රසයේ 24 වන සමුළු වාරයට සහභාගිවීම සඳහා විත්තිකරුට විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දුන්නේය.

තම සේවාදායකයා විදුලිබල අමාත්‍යංශයේ මහජන සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන අතර විදුලිබල මණ්ඩලයට අනුයුක්ත සමාගමක අධ්‍යක්ෂ වරයෙකු වශයෙන්ද කටයුතු කරන හෙයින් ඇප නියම කිරීමේදී අධිකරණය මඟින් පනවා ඇති විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගය ලිහිල් කොට අදාල කාල සීමාව සඳහා විත්තිකරුට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය සඳහන් කළේ තමා මෙම ඉල්ලීමට විරුද්ධ වන බවයි.

මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ලැබූ පුද්ගලයෙකු රජයේ ආයතනයක තනතුරක් දරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ රජයේ නීතිඥවරිය එය ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව ඔහුට එවැනි තනතුරක් දැරීමට හැකියාවක් නොමැති බව ද ප්‍රකාශ කළේය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කළ රජයේ නීතිඥවරිය එසේ නොවුණහොත් මහජනතාව තුළ නීතිය පිළිබඳව පවතින විශ්වාසය පළුදු වීමට ඉඩකඩ තිබෙන බවද රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මෙහිදී විනිසුරු මහේන්ද්‍රන් මහතා විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේ විදේශගත වීමට අදාළව කරනු ලබන ඉල්ලීම පිළිබඳව වැඩිදුර කරුණු තිබේ නම් ඒවා ලබන 02 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සහෝදරයා වන විජිත් විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

Read more

Local News