එජාපයට විනයක් අවශ්‍ය බව තිස්ස කියයි

අද වන විට එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්වීම නොව ඔවුන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවන් ඇති කර ගැනීම බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අර්බුදයක් ඇති අවස්ථාවක එය විසඳා ගත යුත්තේ සාකච්ඡා කර බවත් පැවසු ඒ මහතා, ඔවුන් සමඟ එකඟතාවයක් ඇති කර ගත යුතු බවත් කියා සිටියේය.

විනය පරීක්ෂණ ආරම්භ කිරීමට සුදානම් වීම තුළින් සිදුවන්නේ, ගැටුම දුර දිග යෑමක් බවත් එය පක්ෂය බෙදීමකට ලක් කිරීමක් බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය කල්පනා කල යුතු මුලිකම කරුණ වන්නේ, ඉදිරි මැතිවරණය වන බවත් පැවසු ඒ මහතා, එය ඉතා තීරණාත්මක බවත් ඒ නිසා බෙදීමක් හෝ ගැටුම් ඇති කිරීම එයට අභියෝගයක් බවත් කියා සිටියේය.

පක්ෂයකට විනයක් අවශ්‍ය බවත්, ඇති ගැටළු සියල්ල කාමරයක් තුළ සාකච්ඡා නොකර මෙආකාරයෙන් හැසීරීම තුළින් බෙදීම ස්ථීර වන බවද අත්තනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version