තිළිණ ගමගේ ඇතුළු හතරකට ඇප

Share

අලි පැටවකු බලපත්‍රයක් නොමැතිව සිය භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකරුවන්ට නිතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකාර තිලිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුතුමා නියම කළේය.

සෙසු විත්තිකරුවන් තිදෙනා රුපියල් 25,000 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමටයි අධිකරණය නියම කළේ.

අනතුරුව නඩුව සැප්තැම්බර් මස 20 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින චන්ද්‍රරත්න යටවර නමැත්තා රඳවා තැබීමට ද අධිකරණය නියම කළේය.

කැලෑවකින් අල්ලා ගන්නා ලද “සකුරා” නැමති අලි පැටවකු වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන වලංගු බලපත්‍රයක් නොමැතිව සිය ස්වාමිත්වයේ තබාගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබූණි.

ප්‍රශ්නගත “සකුරා” නැමති අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටීන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක වන ප්‍රියංකා සංජීවනී යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම්කර ඇත.

Read more

Local News