අධ්‍යාපන ඇමතිට ජනපති කොමිසමෙන් නොතීසි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතිසී නිකුත් කර තිබේ.

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සඳහන් කළේ, ඒ අනුව, ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කළ බවයි.

අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා ඊයේ ජනපති කොමිසම හමුවේ, පෙනී සිටින්නැයි, දැනුම් දී තිබුණ ද, සිය මව අසනීප බව දන්වමින් ඔහු එහි පෙනී නොසිටි බව එම කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව, ලබන 11 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කළ බව, ජනපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට එරෙහිව කරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද්වේශ සහගත ලෙස , තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අයි එම්. කේ. බී. ඉලංගසිංහ මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලක් අනුව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඊයේ එම කොමිසම හමුවට කැඳවා තිබිණ.

මේ අතර, පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ද අද ජනපති කොමිසමට කැඳවා තිබේ.

Exit mobile version