වෙල්ගමගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන්න මහාධිකරණය නියම කරයි

අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

කුමාර වෙල්ගම මහතා කියා සිටින්නේ තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළ බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධීයැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව දිගටම විභාගයට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවද කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කොට තමන්ව එම නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා සිය ප්‍රතිශෝධන පෙත්සම හරහා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version