ඉන්දීය කොංග්‍ර‍ස් පක්ෂයේ නායක ධූරය රාහුල් ගාන්ධිට

වසර 132 ක් පැරණි ඉන්දීය ජාතික කොංග්‍ර‍ස් පක්ෂයේ නායක ධූරය රාහුල් ගාන්ධිට හිමිවී තිබේ. ඔහු දෙසැම්බර් 16 වන දා එම ධූරයේ රාජකාරි ආරම්භ කරණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ජාතික කොංග්‍ර‍ස් පක්ෂයේ සභාපති ධූරය මෙතෙක් කල් හෙබවුයේ වයස 71 හැවිරිදි සෝනියා ගාන්ධි ය.

ඇගේ දෙටු පුතණුවන් වන රාහුල් ගාන්ධි සභාපති ධූරය වෙනුවෙන් පසුගිය 4 වැනි දා නාම යෝජනා භාර දුන් අතර වෙනත් නාම යෝජනා ඉදිරිපත් ව නොතිබිණි. එබැවින් මෙතෙක් උපසභාපති ධූරය හෙබ වූ රාහුල් ගාන්ධි නිතරඟයෙන් ම මුල් පුටුව හිමි කරගෙන සිටි.

වයස 47 හැවිරිදි රාහුල්, හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ සහ සෝනියා ගාන්ධිගේ පුත්‍රයායි. හිටපු අගමැතිනි ඉන්දීරා ගාන්ධිගේ මුණුපුරා මෙන් ම ඉන්දියාවේ ප්‍ර‍ථම අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරුගේ මීමුණුපුරා ද වන රාහුල් ගාන්ධි අන්තර්ජාතික සබඳතා හා කළමනාකරණය පිළිබඳ උපාධිධරයෙකි.

1991 වසරේදී සිය පියා වන රජීව් ගාන්ධි, ත්‍ර‍ස්තවාදීන් අතින් ඝාතනය වූ පසු ආරක්ෂක හේතුන් මත රාහුල් අමෙරිකාවට ගොස් තිබේ. අමෙරිකාවේ හා ලන්ඩනයේ ඉගෙනුම ලබන කාලයේදී ආරක්ෂක හේතුන් මත ආරූඪ නමකින් පෙනී සිටි රාහුල් නැවත ඉන්දියාවට පැමිණියේ 90 දශකයේ අගභාගයේදීය.

2004 වසරේදී තමා ප්‍ර‍සිද්ධ දේශපාලනයට එන බව නිවේදනය රාහුල් නිවේදනය කළේ ය. මහ මැතිවරණයෙන් ජය ලබා උත්තර් ප්‍රදේශයේ ඇමෙති ඡන්ද කොට්ඨාසයෙන් ලෝක් සභාවට පත් වූ ඔහු 2007 සැප්තැම්බර් 24 වන දා ඉන්දීය කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත් විය.

Exit mobile version