අභාග්‍ය සම්පන්න කාලයක් නැවතත් රට තුල උදා වන්නට ඉඩ දෙන්නේ නෑ

Share

අභාග්‍ය සම්පන්න ලේ සොලවන කාලයක් නැවතත් රට තුල උදා වන්නට ඉඩ නොදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

2015 ආරම්භ කළ රටේ සංවර්ධනය, 2019 ලබාදෙන ජන වරමත් සමගින් සියයට පන්සියයකින් වැඩි කරන බවද අමාත්‍යවරයා පැවසීය.

2015 වසරේදී වත්මන් ආණ්ඩුව රට බාරගන්න මොහොතේ, ජනතාව ජිවත්වුණේ දැඩි පීඩනයකින් මෙන්ම බිකින් බවත් එම තත්ත්වය වත්මන් රජය විසින් සහමුලින් වෙනස් කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, කොළඹ නගරයේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ඉදිකල නිවාස යෝජනා ක්‍රම 03 ක් ජනතා අයිතියට කැපකිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි.

විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ නායකයෙක් පත්කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. අපි අන්තවාදය තුළින් ඉතාමත් දුෂ්කරව ගමන් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත වරක් රටට එවැනි අභාග්‍ය සම්පන්න ලේ සොලවන කාලයක් උදාවෙන්න දෙන්නෙ නැහැ කියලා මම වගකීමෙන් කියනවා.

මම රජයේ සේවකයන්ගෙන් ඉල්ලන්නේ අපි අලුතෙන් හිතලා, රට ගැන හිතලා, අහිංසක බදු ගෙවන්නන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරන්න කියලා.

2015 ලබාදුන් ජනතා වරමෙන් මෙතෙක් කාලයක් සිදුකළ සංවර්ධන වැඩපිළිවෙල, 2019 ලබාදෙන ජන වරමත් සමගින් සියයට පන්සියයකින් වැඩි කරන්න එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා.

අද අපි නිවාස 3300 ක් ජනතා අයිතියට පවරනවා. ඒ වගේම තවත් ගෙවල් 12,000 ක් වෙනුවෙන් මුල්ගල් තියලා තිබෙනවා. මේ නිවාසත් ඉදිවීමෙන් අනතුරුව, තවත් නිවාස 50,000 ක අවශ්‍යතාවක් තිබෙනවා කොළඹ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන්.

ජනතාවගේ මෙම මූලික අවශ්‍යතා සපුරාදෙමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකරන්න අපි ආර්ථිකය සකසා ගත යුතුයි. අද අපි ජනතාවගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් වැඩි කරලා තිබෙනවා. රටේ ආදායමෙන් 63% ක් වැටුප් වෙනුවෙනුත්, 18% ක් පිං පඩි වෙනුවෙනුත් වැය වෙනවා. මේ සියලුම කාරණා සමග රටේ සංවර්ධන සිදු කරන එක විශාල අභියෝගයක්.

මේ අභියෝග මැද්දේ අප ලැබූ සංවර්ධනය දැකලා, අන්තවාදයට අතවනන පිරිසක් සිටිනවා අපි අතරේ. ඔවුන් අපේ සහජීවනය නැති කරන්න හදනවා. නමුත් අද අපට සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට මේ මගේ රට කියලා අනන්‍යතාවයකින් යුතුව ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කරන්න හැකිවෙලා තිබෙනවා.

2015 අපි රට බාරගන්න වෙලාවේ ජනතාව ජිවත්වුණේ දැඩි පීඩනයකින් ඒ වගේම බයකින්. අපිට හැකිවුණා ඒ පීඩනය, භීතිය තුරන් කරලා ජනතාවට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ ඇති කරන්න. බියෙන්, සැකෙන් සිටි යුගයට නැවතීමේ තිතක් තියලා, සැබෑ වෙනසක් ඇති කරන්න ඕන කියලා හිතලා අපිව බලයට පත්කළ මේ රටේ ජනතාවට අපි එදත්, අදත් ඒ වගේම හෙටත් ණය ගැතියි.

එදා රටේ එක් තැනකට සීමාවී තිබූ සංවර්ධනය, අද වනවිට සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සිදු කෙරෙනවා. ඒ වගේම අපි බාරගනිද්දි විශාල ණය බරකින් යුත් මේ රට, අපේ අගමැතිතුමා ජනාධිපතිතුමත් සමග එකතුවෙලා, මාව මුදල් ඇමති බවට පත් කරලා ඒ ණය බරෙන් රට නිදහස් කිරීමේ පෙරළියට උරදීලා කටයුතු කලා.

අද රටේ සෑම තැනම පාසැල්, රෝහල්, පාරවල් ඇති වෙනවා. ඒ ඔබේ ශක්තිය තුළින් අපිට හැකි වුණා ණය බර පැත්තකට දාලා, අතිරික්තය තුළින් කෙරෙන සංවර්ධන ක්‍රියාවන්.

අප අපේ නීති පද්ධතිය ස්වාධීන වෙලා. පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි ස්වාධීනව කටයුතු කරනවා. මාධ්‍යට සැබෑ නිදහසක් ලැබිලා තිබෙනවා. ඒ හැම දේකටමත් වඩා අපට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිතබාවයයි. අපේ රජය යටතේ ඒ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක්.

මේක තමයි අපි ලැබූ සැබෑම සංවර්ධනය. එදා කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. නමුත් අද වෙලා තියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඒ තරමටම සංවර්ධනය ගමට ගෙනියන්න අපිට හැකිවුණා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News