අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීමට පාසල් ප්‍රජාව මෙන්ම පාසලින් බාහිර පාර්ශවවල මැදිහත්වීම ද වැදගත්

අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා පාසල් ප්‍රජාව පමණක් නොව, පාසලින් බාහිර පාර්ශවවල මැදිහත්වීම ද අතිශය වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාසල් පද්ධතිය තුළ මත්උවදුර මැඩපැවැත්වීම සඳහා මේ වන විට පාසල් මට්ටමින් පිහිටවනු ලැබූ කමිටු හරහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන බවත්, පාසල් පද්ධතියෙන් බැහැරව පවතින මත්උවදුරු මැඩපැවැත්වීම සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශය මෙන්ම, රටේ අධිකරණ පද්ධතිය ද සෘජුවම මැදිහත් විය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ එක්ව, බුද්ධි අංශ තොරතුරු සහ පාසල් ප්‍රජාවන්ගෙන් ලබාගන්නා තොරතුරු ද පදනම් කරගනිමින්, පාසල් තුළින් මත්උවදුර තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, එම ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට පාසල් පද්ධතිය තුළින් මත්උවදුර බොහෝ දුරට තුරන් වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Exit mobile version