ගෝඨා එනවා නම් අපි කැමැතියි – මනුෂ කියයි

Share

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසීය.

“ලෝක ඉතිහාසයේ, ලංකා ඉතිහාසයේ වැඩිම පීඩනයට ලක්වූ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා. මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අව භාවිතා කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ.

දැන් ඔය බය නැති ගෝඨා කියලා කියනවානේ. බය නැතිනම් මේ නඩුවලට මෙතරම් බය වෙන්නේ ඇයි? වැරදි කරලා නැති නම් මේ තරම් බය වෙන්නේ ඇයි? නඩුවලට වාරණ ගන්නවා. වැරදි කරලා නැති නම් බය නැතිව නඩුවලට පෙනී ඉන්න ඔන. වැරදි කරලා තියෙන බව දන්නා නිසා තමයි මේ විදියට නඩු මග අරිමින් ඉන්නේ.

මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට එනවට අපි කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ තරම් වාසිදායක අපේක්ෂකයෙක් තවත් නැහැ. ඒ නිසා ගෝඨා ඡන්දෙට එනව අපි කැමැතියි. අපිට හොදම අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි.

සිංහල ඡන්ද පදනම, තමන්ගේ ඡන්ද ගුලක් බවට පත් කරගෙන අනෙක් ජාතීන් පීඩාවට පත් කරලා, සිංහල ඡන්ද ගොඩින් සියයට හැටක් හැත්තෑවක් ගන්න ජාතීන් අතර භේධ ඇති කරන මේ අය තමයි.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තැන තැන බෝම්බ තියෙනවා කියලා ප්‍රචාර යවලා, පාසල්වලට ගහනවා කියලා ප්‍රචාර යවලා බියක් ඇති කළේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමයි.

හෙට දවසේ මේ මැතිවරණයට පෙර තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බෝම්බයක් වුනත් පුපුරවන්න මේ අයට පුලුවන් කියලා අපිට හිතෙනවා. තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අහිංසක පුද්ගලයින් භාවිතා කිරීමට මොවුන්ට හැකියි.

රට වෙනුවෙන් තමන්ගේ අත් පා අහිමි කරගත් රණවිරුවන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට මේ අය භාවිතා කළා. තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මොවුන් ඕනම දෙයක් කිරීමට සුදානමින් ඉන්නවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොරු බියක් ඇති කිරීමට තමයි මේ අය කටයුතු කරන්නේ.

රාජපක්ෂ කදවුර පෙන්වන්න හදන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න එකම කණ්ඩායම තමන් කියලා පෙන්වන්න තමයි මොවුන් හදන්නේ. ඒ නිසානේ හිටපු හමුදාපතිවරයෙක් මැතිවරණයට ඉදිරිපත් වන  විට භූමිතෙල් ගෑවුණ ගැරඩියෙක් වගේ කටයුතු කරන්නේ.“

Read more

Local News