ආරක්ෂක අමාත්‍යාංශයෙන් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට උපදෙස් මාලාවක්

Share

ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල යෙදීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි.

සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධන කාර්යයන් හි නිරත වීම හා එසේ කිරීම සඳහා ස්වකීය ප්‍රකාශ,ඡායාරූප භාවිත කිරීමට ඉඩ දීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා යුධ,නාවික, ගුවන් හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

Read more

Local News