එංගලන්තයේ කන්ටේනරයක් තුළ තිබු මළ සිරුරුවල අනන්‍යතාවය අනාවරණය වෙයි

Share

එංගලන්තයේ එසෙක්ස්හි ලොරි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරුවල අනන්‍යතාව මේ වන විට අනාවරණය වී ඇත.

මින් පෙර වාර්තා වූ ආකාරයට ඒ අතර කිසිදු චීන ජාතිකයෙකු නොමැති බව පොලිසිය ප්‍රකාශ කලේය.

එංගලන්තයේ එසෙක්ස්හි අධිශීත ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලොරි කන්ටේනරයක තිබී ඉකුත් 23 වැනිදා  සොයා ගන්නා ලද මළ සිරුරු 39 වියට්නාම ජාතිකයන්ගේ යැයි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

එම මළ සිරුරු චීන ජාතිකයන්ගේ බව මුලින් අනාවරණය වූ අතර, වියට්නාම ජාතිකයින් කිහිප දෙනෙකු ඒ අතර වන බව කියැවුණි.

කෙසේ වෙතත් මරණයට පත් පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයන් සහ වියට්නාම රජයේ සහය ඇතිව ඔවුන්ගේ අනන්‍යතාව වියට්නාම ජාතිකයින් බවට තහවුරු කර ගැනීමට හැකි  වූ බව එසෙක්ස් පොලිසිය ප්‍රකාශ කළේය.

මියගිය පිරිස අතර සිටි 26 හැවිරිදි ෆාම් ති ට්‍රා මි නමැති වියට්නාම තරුණිය අවසන් මොහොතේ තම මව්පියන්ට යැවූ කෙටි පණිවිඩවලින් ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳව කියැවෙයි.

ඇය පවසා ඇත්තේ, තමාට හුස්ම ගැනීමට අපහසු බවත් තමන් මිය යමින් සිටින බවත්, විදෙස් රටකට යාමේ සිහිනය බොඳවෙමින් පවතින බවයි.

ඇය වියට්නාමයේ සිට එංගලන්තයට සංක්‍රමණය වීම සදහා මිනිස් ජාවාරම්කරුවන්ට ගෙවන ලද මුදල ස්ටර්ලින් පවුම් 30,000ක්.

මුහුදින්,ගුවනින් සහ ලොරි,කන්ටේනර් සහ වෑන් වැනි වාහනවල සැඟවී අනවසරයෙන් බ්‍රිතාන්‍යයේ පාතබන්නට තැත්කළ සංක්‍රමණිකයන් මුහුණදුන් ඛේදජනක අවස්ථා කීපයක්ම පසුගිය අවුරුදුවල වාර්තා වුණි.

2014 පටන් සිදු වූ එවැනි ඛේදජනක මරණ දොළහක් පිළිබඳව සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආයතනය (IOM)මින්පෙර වාර්තා කළේය.

ගුවන්යානයක බඳෙහි රෝද කුටියේ සැඟව එද්දී ලන්ඩන් නගරයේ ගෙවුයනකට වැටී මියගිය අනවසර සංක්‍රමනිකයෙක්ද ඊට ඇතුළත්.

භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොරියක හෝ ඊට සමාන වාහනයක සැඟව එද්දී ඉන් වැටී පස්දෙනෙක් මරුමුවට පත්ව ඇති බව සඳහන්.

අවුරුදු පතා ලක්ෂ ගණනින් එක්සත් රාජධානියට පිවිසෙන සියලුම ලොරි පරීක්ෂා කර බැලීම අතිශයින් දුෂ්කර කාර්යයක් බව අපරාධ මැඩලීමේ ජාතික ආයතනය (NCA) පෙන්වා දෙයි.

Read more

Local News