ජාතික භෞතික සංවර්ධන සැලැස්මට ඇමරිකාවේ සම්බන්ධයක් නෑ

Share

රටේ ජාතික භෞතික සංවර්ධන සැලැස්මට ඇමරිකාවේ සම්බන්ධයක් නොමැති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ ජාතික භෞතික සංවර්ධන සැලැස්ම සී.අයි.ඒ මර උගුලක් ලෙසින් පිරිසක් සඳහන් කර ඇති  බවත්, එය සී.අයි.ඒ මර උගුලක් නොවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෝටර්ස්ඒජ් හීදි පැවති ඉංජිනේරුවන්ගේ විශේෂ හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසීය.

”මේ වන විට  සී.අයි.ඒ මර උගුලක් ගැන කතා කරනවා. ඇමරිකාවට කොරිඩෝවක් දෙන්න යනවා කියලා කතා බහක් තිබෙනවා. මෙය තමයි ලංකාවේ ජාතික භෞතික සංවර්ධන සැලසුම.

මෙයට ඇමරිකා එක්සත් ජනපදය කිසි සම්බන්ධයක් නැහැ. මෙය මේ රටේම විද්‍යාඥයින් බහුතරයක් සම්බන්ධවෙලා සිදුකළ නිර්මාණයක්. මෙහි ප‍්‍රධාන අරමුණ රටේ බිම, රටේ ජනගහනය, ජනගහනයේ ව්‍යාප්තිය, ජනගහනයේ අධ්‍යාපන තත්වය, ජලසම්පත ආදී සම්පත් දෙන බලා ආර්ථික කොරිඩෝවන් හතරක් හදුනාගෙන තිබෙනවා.

පළමු කොරිඩෝව කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා, දෙවැන්න අම්බලන්ගොඩ සිට අම්බලන්තොටට, තෙවැන්න යාපනය සිට කිලිනෝච්චියට, හතර වැන්න වාලච්චේනේ සිට අම්පාර දක්වා.

විද්‍යාඥයින් සඳහන් කළ ආකාරයට මේ කොරිඩෝවන් හතර දෙසට ලංකාවේ උපරිම ජනගහනය පදිංචි වෙන පරිදි යටිතල පහසුකම් නැංවිය යුතුයි කියලා. මේ සඳහා කිසිම සී.අයි.ඒ කෙනෙක්ගේ සම්බන්ධයක් නැහැ.

ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයෙන් රට විවෘත කිරීම කළ යුතුයි. අද ලෝකයේ සීඝ‍්‍රයෙන් ආර්ථික දියුණු වෙන කලාපයක් තමයි චීනයේ යුනෑන් ප‍්‍රාන්තය. බංගලාදේශය, මියන්මාරය, තායිලන්තය.

අපි අතීතයේදී ගණු දෙණු සිදුකළේ මේ රටවල් සමගින්. නමුත් මේ රටවල් සමගින් අපේ රටේ කිසිම වෙළඳාමක්, කිසිම ක‍්‍රියාකාරීත්වයක් නැහැ.

අපේ නැගෙනහිර වෙරළ ආසියාවට විවෘත කරනවා නම් බටහිර වෙරළට වඩා විශාල ආර්ථික වර්ධනයක් ළගාකරගත හැකියි. මෙය ආසියාව අභිමුඛ වූ දෙයක්. මෙයට ඇමරිකාවේ කිසිම සම්බන්ධයක් නැහැ. දේශීය වශයෙන් ඉදිරියට යා හැකි වැඩපිළිවලක් මෙය.

මේ වන විට අපි ප‍්‍රාදේශිය නගර ගණනාවක් හදුනාගෙන තිබෙනවා. ත‍්‍රිකුණාමලයට විධිමත් සැලසුමක් අපි සකස් කළා. රට ඒ දෙසින් ආසියාව දෙසට විවෘත කරන්න අරමුණු කරගෙන.

දැනුම් ආර්ථිකය සඳහා විද්‍යා හා තාක්ෂණ නගරයක් ඇති කර තිබෙනවා. එහි පළමුවැන්න හෝමාගම සිට මාලබේට. මේ වන විට විශ්ව විද්‍යාල හතරක් ස්ථාපිත කර තිබෙනවා. නැනෝටෙක්නොලජි, බයෝ ටෙක්නොලජි, රොබෝටික් වැනි දේවල් ඇති කර තිබෙනවා. මොරටුව, ජයවර්ධනපුර, කැළණිය වැනි විශ්ව විද්‍යාලවල ඇති කරනවා. ඉදිරියේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙත් එය ඇති කරනවා.

2023 වන විට මේවායේ ගොඩනැඟිලි බොහෝ ප‍්‍රමාණයක් ඉදිකර අවසන් වෙනවා. යටිතල පහසුකම් සකස් කරමින් ඉන්නවා. අපි නවෝත්පාදන ආර්ථිකයකට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීම මේ වන විටත් අප ආරම්භ කර තිබෙනවා. නිදහස් චින්තනය මරපු, නිදහස් අදහස් මරපු කිසිම තැනක නවෝත්පාදනයක් ඇතිවෙන්නේ නැහැ.

අපේ ආර්ථීක ක‍්‍රියාදාමයේ අරමුණ නවොත්පාදනය නම්, නිදහස් චින්තනය නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කළ යුතුයි. එසේ නොමැති වුවහොත්, ලෝකය විද්‍යාවෙන් තාක්ෂණයෙන් කොතරම් ඉදිරියට ගියත්, රට එක තැනම පවතිනවා.” යැයි පැවසීය.

Read more

Local News