මෙන්න සජිත්ගෙන් තවත් ඡන්ද පොරොන්දු

Share

වසර 04ක් තුළ මෙරට විහාරස්ථාන සඳහා චෛත්‍ය රාජයාණන් වහන්සේ 1125ක් තනා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල මාපලගම පැවති ජනරැලියක් අමතමින්.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ ගාල්ල – මාපලගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ සුළු ජාතින්ගේ ඡන්දවල ප්‍රශ්න තිබෙන නිසා සිංහල බෞද්ධ ඡන්දවලට සිටින එකම පුද්ගලයා ගෝඨාභය මහතා බවට පෙන්වීමට උත්සහ කළ බවයි.

සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වු විට සිංහල බෞද්ධකමට අභියෝග කළ හැකි අයෙක් තවත් සිටින්නේ දැයි මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා කිසිදාක කිසිවෙකුට හෝ හිංසාවක් නොකරන බවත් පැවසු අමාත්‍යවරයා, පිරිසිදු නායකයෙක් බවද මෙහිදී සඳහන් කළේය.

මේ අතර මෙම අවස්ථාවට එක් වු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, තමාට ආරක්ෂක අමාත්‍යාංශය ලබා දෙන බව පැවසු අතර ඉන් පසුව අනෙක් අමාත්‍යාංශ ලබා දෙන්නේ ද එම මිනුම් දණ්ඩෙන්ම මැන බලා යයි පැවසු බවත්ය.

එයින් සජිත් ප්‍රේමදාස මහතා හොඳ දක්ෂයින් සොයන බව පෙනී යන බවත් පැවසු ෆොන්සේකා මහතා, ඔහු රට වෙනස් කිරීමට උත්සහ ගන්නා බව පෙනී යන බවත් පැවසීය.

ඔහුගේ අපේක්ෂාව තිරසාර කිරීමට තමා ද කැප වෙන බවත්, යුද්ධය අවසන් කිරීමට ලබා දුන් පොරොන්දුව ලෙසම මෙම පොරොන්දුවත් තමා ඉටු කරන බවද සරත් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට එක් වු සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, චෛත්‍ය රාජයන් වහන්සේලා 1125 ක් ගොඩනඟන බවයි.

එමෙන්ම ගස් යට දහම් අධ්‍යාපනය හැදෑරූ සෑම විහාරස්ථානයකටම ,සෑම ආගමික ස්ථානයකටම දහස් පාසල් ගොඩනැඟිලි ලබා දීමේ වැඩසටහන 2025 වන විට අනිවාර්යෙන්ම අවසන් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

තමාගේ ආණ්ඩුවක් යටතේ, යාලුකමට තනතුරු නොමැති බවත්, තනතුරු ලබා දෙන්නේ නිපුණතාවය මත බවත් කියාසිටි ප්‍රේමදාස මහතා, 16 වන දා ජයග්‍රහණය කරන විට තමන් බිහි කරන්නේ මේ රටේ පරාර්ථකාමීම ජනාධිපතිවරයා බවද කියා සිටියේය.

තමා මන්දිරවලට නොයන බවත්, තමාගේ නිවසේ සිට පොදු ජනතාවට තේජස් සම්පන්න රාජ්‍ය පාලනයක් දියත් කරන බවත් පැවසු ප්‍රේමදාස මහතා, වයස අවුරුදු 52 ක් වු තමාව ලංකාවේ ජවසම්පන්නම රාජ්‍ය නායකයා බවට පත් කරන මොහොතේ ජයග්‍රහණය කරනු ලබන්නේ පොදු මහජනතාව බවද මෙහිදී පැවසීය.

Read more

Local News