දකුණු කොරියාවෙන් මිලියන 5460ක සහන ණයක්

Share

ශ්‍රී ලංකාවේ e – ඉගෙනුම් සේවාවන් වැඩිදියුණු කරන ජාතික මධ්‍යස්ථානයක් ස්තාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 30 එනම් රුපියල් මිලියන 5460ක සහන ණයක් ලබා දීමට කොරියානු රජය කටයුතු කර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම, ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන හැකියාව වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන සිසුන් ඇතුළුව සියළුම සිසුන්ට අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

e – ඉගෙනුම් සේවාවන් වැඩිදියුණු කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව සැපයීම වැනි ක්‍රම භාවිතා කරමින් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පුහුණු පහසුකම් පුළුල් කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම්කර තිබේ.

මෙම සැලැස්මට අනුව, වයඹ පළාතේ අංගසම්පූර්ණ ජාතික e – ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් (NCDC) සහ දකුණු සහ නැගෙනහිර පළාත්වල, පළාත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන (PICTEC)දෙකක් පිහිටු වීමට යෝජනා කර ඇත.

මෙම e – ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය ජාතික සහ පළාත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන සමඟ e – ඉගෙනුම් සම්පත් සංවර්ධනය කිරීමෙහි නියැලෙනු ඇති අතර එම සම්පත් ඊ -තක්සලාව සහ දැනට පවතින අනෙකුත් පුහුණු වැඩසටහන් ඔස්සේ ගුරුවරුන් හා සිසුන් අතර බෙදා හැරෙනු ඇත.

ඉහත අරමුණු සාක්ෂාත් කරගනු වස් ක්‍රියාත්මක කිරීමට නියමිත  ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රය පිහිටුවීමේ ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා  ඇමරිකානු ඩොලර් 30,099,000 නොඉක්මවන කොරියානු වොන් ණය මුදලක් ලබා දීමට කොරියානු ආනයන අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) විසින් එකඟතාවය පලකර තිබේ.

වසර 10 ක සහන කාලයක් ඇතුළුව වසර 40 ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව වසරකට 0.15%ක පොලී අනුපාතිකයක් සහිතව මෙම ණය මුදල ලබාදේ.

තවද එක්එක් ප්‍රයෝජන වටිනාකාමෙන් 0.1% ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.

ඒ සඳහා අදාල ගිවිසුම අද (05) මුදල් අමාත්‍යංශයේදි අත්සන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

Read more

Local News