උතුරේ මන්ත්‍රීවරුන්ට සිය ආසනවල සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 300 ක් ලබා දුන් එකම රජය යහපාලන ආණ්ඩුව බවත්, නව ජනපති හා අගමැති සමග උතුරුකරයේ සීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවූරු කිරිම වෙනුවෙන් උතුරු පළාතේ මාන්කුලම් ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් සදහා එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“එදා මහින්ද පාලනය අවසන් කරන්න උතුරේ සියලු ජනතාව අප සමඟ එක් වුණා. ගිය සැරේ අයියව පැරද්දුවා. මේ සැරේ මල්ලිව පරද්දමු කියලා මම කියනවා.
2015 න් පස්සේ තමුන්නාන්සේලා බලාපොරොත්තු වුණ සියලු දේ සමහරවිට ලැබෙන්න නැතිව ඇති. අපේ මේ රජය යටතේ උතුරට නිදහස ලබා දුන්නා. ප්රජාතන්ත්රවාදය, අයිතිය ලබලා දුන්නා. නිදහසේ කථා කරන්න, සිතන්න, ලියන්න අයිතිය ලබාදුන්නා.
2015 ට කළින් මේ එක නිදහසක් වත් උතුරට තිබුණේ නැහැ. අපි උතුරේ විශාල සංවර්ධන වැඩකටයුතු කළා. ඔබලාගේ නිවාස ප්‍රශ්ණය විසදීමට අපි අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”
“තමුන්නාන්සේලාගේ කිසිම දේශපාලන පක්ෂයක් විශාල කාලයක්ආණ්ඩුවේ සිටියේ නැහැ. හැමදාම හිටියේ විපක්ෂයේ.
එම නිසා ඔබලාගේ ප්‍රශ්ණ ආණ්ඩුවට කියලා විසදා ගන්න බැරි වුණා. මේ අවුරුදු 04 දී ද්‍රවිඩ සන්ධානය ආණ්ඩුවේ ඇතුලේ හිටියේ නැති වුණාට ආණ්ඩුවට හිතවත්ව සිටි නිසා ඒ බොහෝ ප්‍රශ්න විසදන්නට හැකියාව ලැබුණා.
උතුරු කරයේ ආණ්ඩුව සමඟ සම්බන්ධ වෙලා ඉන්න සියළුම මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවල සංවර්ධන කටයුතු වලට රුපියල් මිලියන 300ක් යහපාලන රජය ලබා දුන්නා.
ඉතිහාසයේ කිසිම රජයක් එක ආසනයකට එවැනි මුදලක් වියදම් කරලා නැහැ.
මීට වඩා සීඝ්‍ර සංවර්ධනයක් අළුත් ජනාධිපති හා අගමැති එකම ආණ්ඩුවක සිටීම තුල නොවැම්බර් 17 න් පසු ද ගෙනයනවා.
අපි එදා සිටම අද දක්වා උතුරේ දේශපාලන කටයුතුවල නිරත වුණා.
උතුරේ සහ දකුණේ අපේ නායකයින් අන්තවාදීන් විසින් මරා දැමුවා. රට හදන්න පුළුවන් නායකයින් රැසක් අපට අහිමි වුණා.
තරුණ බුද්ධිමතුන් අපට නැති වුණා. වැදගත් දේශපාලන නායකයින් මිය ගියා.
ඒ් සියලු නායකයෝ මරුණාට පස්සේ ඉතුරු අය තමයි අද නායකයෝ වෙලා ඉන්නේ. හමුදා පාලනයක් නැවත අපේ රටේ ඇතිකර ගන්න බැහැ.
අපි නොවැම්බර් 17 ජයග්රහණයෙන් පසු නැවත සංවර්ධනයේ අරුණළු සමඟ උතුරට එනවා.”



