කර්නල් රත්නප්‍රිය බන්ධුගේ සහාය ගෝඨාට

Share

මෙවර ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 22 න් 16 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසැකවම ජයගන්නා බව සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ(06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේබව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වු ඩලස් අලහප්පෙරුම මහතා  කියා සිටියේ, මැතිවරණය පිළිබඳ පවත්වන අවසන් මැතිවරණ සමීක්ෂණ වාර්තාවක් පදනම් කර ගනිමින් කිසිදු චකිතයකින් තොරව , කිසිදු සැකයකින් තොරව මෙම ජයග්‍රහණය ගැන කිව හැකි බවයි.

ඉතා විශාල පරතරයන් සමඟ මෙම ජයග්‍රහණය සිදු කරනු ලබන බවත් පැවසු ඒ මහතා, තව එකක් ඇති බවත් එය ඉදිරි සතිය තුළදී කළමනාකරණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.

ආසන මට්ටමින් ගැනීමේ දී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ 160 ක් ඇති බවත්, මෙයින් නියත වශයෙන්ම 119 ක් ජය ගන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අතීතයේ හංසයා මැතිවරණ කොට්ඨාස 122 න් 90 ක් පමණක් ජය ගත් බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ අතර උතුරේ පුනරුත්තාපනය ලබන එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ  පුනරුත්තාපන වැඩසටහනට නායකත්වය දීම නිසා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ඒකාබද්ධ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා කියා සිටියේ, මීට මාසයකට පමණ පෙර උතුරේ තරුණයින් පිරිසක් තමා මුණ ගැසීමට පැමිණි බවයි.

ඔවුන් ගෝඨාභය මහතාට මැතිවරණයට උදව් කිරීමට සුදානම් බවත් ඒ සඳහා තමාට ද සහභාගී වෙන ලෙස දන්වා සිටි බවත් පැවසු ඒ මහතා, තරුණයින්ගෙන් තමා මෙවැනි තීරණයක් ගැනීම ගැන ප්‍රශ්න කර සිටි බවත් කියා සිටියේය.

එහිදී ඔවුන් කියා සිටියේ, තමා විශ්‍රාම යන විට ඔවුන් තමා ඉල්ලු බවත් ඊටත් වඩා විශේෂ වන්නේ ඔවුන් කිසිවිටෙකත් වෙනම කිසිවක් නොඉල්ලු බවත් තමන් ඉල්ලුවේ බෞද්ධ සිංහල නායකයෙක් බවත් සඳහන් කළ බවයි.

එවැනි පොඩි දෙයක්වත් ලබා නොදුන් අය ඉදිරියේ දී අපට මොනවා දෙයිද යනුවෙන් තරුණයින් තමාගෙන් ප්‍රශ්න කර සිටි බවත් පැවසු ඒ මහතා, රටේ ස්වෛරීත්වයට ප්‍රශ්නයක් වන්නේ නම් එයට තීරණයක් ගත යුතු බවත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් පැවසීය.

2012 දී එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි වර්තමාන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව උතුරට හඳුන්වා දෙනු ලැබුවේ පුනරුත්තාපනය වු දෙමළ ජනතාව හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ නොසිටි තරුණ පිරිස්වලට රැකියා ලබා දීමට බවත් කියා සිටියේය.

4000 ක පිරිසක් උතුරෙන් බඳවා ගත් බවත් 2015 දී මේ සියලු බඳවා ගැනීම් අත්හිටුවන බවත් පැවසු රත්නප්‍රිය මහතා, මෙම ගැටළු ගෝඨාභය මහතාට ඉදිරිපත් කිරීමේ දී ලැබුණ පිළිතුර සාධනීය බවත් පැවසීය.

ඉදිරි අනාගතයේ දවස නැවත වතාවක් එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව උතුරේ තරුණ තරුණයින් නැවත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙන ආකාරය දැකිය හැකි බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එනිසා විශ්‍රාමික රණවිරුවන් වශයෙන්  ගෝඨාභය මහතාගේ ගමනට ලබා දිය හැකි ශක්තිය ලබා දීම බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News