මම ෆෙඩරල් සංකල්පයක් පිළිබඳ සාකච්ඡා කරන්නේ නැ – සජිත්

Share

ඒකීය ශ්‍රී ලංකාව පිළිගනිමින් සෑම පාර්ශවයක්ම තමා සමඟ එකතු වෙන නමුත්, කිසිදු හේතුවක් නිසා හෝ ඔවුන් සමඟ ෆෙඩරල් සංකල්පයක් පිළිබඳ සාකච්ඡා කරන්නේ නැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ජාතික රණවිරු ප්‍රඥප්තියට අත්සන් කර සමාජගත කිරීමේ වැඩසටහනට අද (07) දින සහභාගී වෙමිණි.

කොළඹ පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම උත්සවය පැවැත්වීණි.

යුද හමුදාව, ගුවන්හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,ආබාධිත රණවිරුවන් සහඑම ක්ෂේත්‍ර වල කාන්තා අංශය යන සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් රණවිරු ප්‍රඥප්තියට අත්සන් තැබීම සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

“ඒකීය ශ්‍රී ලංකාව, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, මානව අයිතීන් ශක්තිමත් කිරීම අපේ ජීවන ගමනෙත්, රටේ ගමනෙත් අරමුණ.

එම කරුණු කාරණා පිළිබඳව කිසිම පාර්ශවයක් සමඟ සාකච්ඡා කරලත් නැහැ. සාකච්ඡා කිරීමට යන්නෙත් නැහැ.

තමන් සමඟ එකතු වී සහය ලබා දෙන සැවොම සමඟ එකීය ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බැඳී සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා පිටරට ගිහින් 13+ කියල එක දිවකින් කතා කළා. රටට පැමිණ 13- කියා තවත් දිවකින් කතා කළා. එතුමාට වගේ දිව දෙකේ ප්‍රතිපත්ති තමන් ලග නැහැ.

ඒකීය ශ්‍රී ලංකාව පිළිගනිමින් සෑම පාර්ශවයක්ම අද මා සමඟ එකතු වෙන නමුත්, මොනම හේතුවක් නිසා වත් ඒ අය සමඟ ෆෙඩරල් සංකල්පයක් ගැන කතා කරන්නේ නැහැ.

නමුත් මහින්ද රාජපක්ෂ මහතාට ඒකීය ශ්‍රී ලංකාව පිළිගන්නට බැහැ. ඒක පාර්ශවීයව අපේ රටේ කොටසක් වෙනම ස්වාධීන රටක් ලෙස ප්‍රකාශයට පත් කළේ වර්ගරාජා පෙරුමාල්.

එම බරපතළ ක්‍රියාව සිදු කළ වර්ගරාජා පෙරුමාල් සමඟ දැන් අත්වැල් බැඳගෙන සිටින්නේ කවුද?

අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා.

එහෙම පුද්ගලයින් සමඟ ප්‍රතිවාදී කණ්ඩායම අද ගිවිසුම් වලට එළඹිලා තියෙනවා.

වර්ගරාජා පෙරුමාල් එයාලට හොඳයි. එතන තමයි දේශද්‍රෝහීත්වය රැඳිලා තියෙන්නේ. එතන තමයි රට,ජාතිය, ආගම පාවා දීම මුල්බැසගෙන තියෙන්නෙ.

ඒකීය ශ්‍රී ලංකාව තුළ රටේ අනන්‍යතාවය රැකගෙන, රටට කිසිඳු හානියක් නොවන ආකාරයට උපරිම බලය බෙදීමට අප කටයුතු කරනවා.

එහි කිසිදු වරදක් දකින්නේ නැහැ.

සෑම ජන කොටසක්ම එක්සේසත් කරමින්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකෙන ආකාරයට ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීමට බලාපොරොත්තු වෙනවා.

එළඹෙන 16 වෙනිදා මේ රටේ සැබෑ දේශප්‍රේමීන් කවුද කියා ජනතාව තීරණය කරන බව මට විශ්වාසයි.”

ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන්ට දේශපාලන අතපෙවීමකින් තොරව ජාතියේ නිදහස් නිවහල් භාවය වෙනුවෙන් ගෞරවාන්විත රාජකාරියක් ඉටුකිරීමට පසුබිම සකස් කිරීම, රණවිරුවන්ට අවේනික රාජකාරී වලින් බැහැරව දේශපාලනඥයින්ගේ හෝ වෙනත් පරිභාහිර රාජකාරී වලට යෙදවීම සම්පූර්ණයෙන් නතර කිරීම, බඳවා ගැනීම්, උසස්වීම්, විදේශ සංචාර, පාඨමාලා,විදේශ සේවය, සුබසධන වරප්‍රසාද යන කරුණු කිසිදු බලපෑමකින් තොරව සුදුස්සාට සුදුසුතැන යන පදනම මත ක්‍රියාත්මක කිරීම, දිවිපිදූ හා ආභාධිත රණවිරුවන් සහ ඔවුන්ගේපවුල්වල සුභසාධනය වෙනුවෙන් මෙම ප්‍රඥප්තියේ යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටිනවා” යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය

Read more

Local News