බොලීවියා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ , ඉකුත් මස පැවති ජනාධිපතිවරණයේදී දූෂණ අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ලවීමත් සමග ජනාධිපතිවරයාට එරෙහි ජනතා විරෝධය උත්සන්න වීමෙන් පසුවයි.

මේ හමුවේ ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින පැවති මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ ඉල්ලා සිටියහ.

ඒ මැතිවරණයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුවු බව තහවුරු කරන සාක්ෂි තමන් සතු බව පවසමිනි.

ඉන්පසු බොලීවියා මැතිවරණ කොමිසමේ තනතුරු සඳහා නව නිලධාරීන් පත් කළ ඊවෝ මොරලෙස්, යළි මැතිවරණයක් පවත්වන බව ඊයේ නිවේදනය කළේ ය.

කෙසේ වෙතත් දේශපාලනඥයන්, හමුදාව සහ පොලිස් ප්‍රධානීන් ඔහුට ධූරයෙන් ඉවත්වන්නැයි, බලපෑම් කිරීම හමුවේ ඊවෝ මොරලෙස් සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය ගෙන ඇතැයි සඳහන් ය.

රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, විරෝධතා නතර කරන ලෙසත් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හමුවේ , බොලීවියා උප ජනාධිපති අල්වාරෝ ගාසියා ලිනේරා මෙන්ම සෙනෙට් සභාවේ සභාපති ඒඩ්‍රියානා සැල්වටියේරා ද සිය ධූරවලින් ඉල්ලා අස්ව තිබේ.

මේ හමුවේ වීදි වෙත රැස්වූ විරෝධතාකරුවන් රතිඤ්ඤා පුපුරුවමින් සිය ජයග්‍රහණය සැමරූ බව සඳහන් ය.

මේ අතර වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධුරෝ චෝදනා කළේ, ඊවෝ මොරලෙස්ට එරෙහිව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවයි.

බොලීවියා ජනාධිපති, ඊවෝ මොරලෙස්, ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Read more

Local News