පාසල් යන දැරියන් විඳින දුක

Share

තම පාලනය යටතේ රුවන්පුර අධිවේගී මාර්ගය යථාර්තයක් බවට පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේය.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ(10) පස්වරුවේ රත්නපුර නගර මධ්‍යයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා කියා සිටියේ, මව්ගුණය හා සහෝදරකම හඳුනන්නේ නැති අශිෂ්ට මිනිසුන් සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන එන සනීපාරක්ෂක වැඩසටහන් වැනි දේවලට පරුෂ වචනයෙන් නොයෙක් දේ කියමින් සිනාසෙන බවයි.

එනිසා සජිත් ප්‍රේමදාස පාලනයක් තුළ ජාතික ආරක්ෂාව මෙන්ම සනීපාරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවත් පැවසු ඒ මහතා,  ඒ දෙකම ලබා දෙන බව ද  කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා සිටියේ, සමහර අය කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ යුතු නෑ ඔවුන් එය බලා ගනී යනුවෙන් පවසන බවයි.

ඒ අවශ්‍යතාවය සජිත් ප්‍රේමදාස මහතා විසින් සපුරා දෙනු ලබන්නේ අහිංසක ජනතාවට බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේ, පාසල් යන දැරියන් විඳින දුක මෙය විවේචනය කරන කාන්තාව නොදන්නේ ද යනුවෙනි.

තමාට එවැනි දුකක් තේරීම ගැන ඊර්ෂ්‍යා සිතී ඇතැයි පැවසු අමාත්‍යවරයා, තමා ඒ මාතෘකාව පිළිබඳ කථා කරනු ලැබුවේ තමාට කාන්තාවන් ගැන සංවේදී හැඟීමක් තිබු නිසා බවද පැවසීය.

එය වරදක්ද යනුවෙන් ප්‍රශ්න කර සිටි ඒ මහතා, 25 වසරක් පොදු ජනතාව සමඟ ගැවසි ගෙන ඔවුන්ගේ දුක ගැන අවබෝධයක් ලබා ගෙන තමා ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළ බවත් කියා සිටියේය.

මෙහි ඇතුළත් වී ඇති සියලුම කරුණු තමාගේම සංකල්ප බවත් පැවසු ප්‍රේමදාස මහතා, මෙය අනෙකෙකු විසින් ලියන ලද්දක් නොවන බවද පැවසීය.

මෙම ප්‍රදේශය ප්‍රචලිත වී ඇති මැණික් කර්මාන්තය වැඩි දියුණු කිරීමේ වගකීම කිසිවෙකුටත් බාර නොදී තමාම බාර ගන්නා බව පැවසු ඒ මහතා, මැණික් කර්මාන්තයේ සියලු පාර්ශවකරුවන්ට තමන් කැමති සභාපතිවරයාගේ නම ඉදිරිපත් කිරිමේ වගකීම බාර දෙන බවත් කියා සිටියේය.

පතල් කර්මාන්තයේ නියැලි සිටින, කම්කරු පරපුර වෙනුවෙන් රක්ෂණ ආවරණයක් දියත් කිරීමට ද තමා බලාපොරොත්තු වන බව පැවසු ඒ මහතා, 16 වෙනිදාට තමාව ජයග්‍රහණය කරවන විට, තමා සති 4 ක් තුළ රත්නපුර අන්තර් ජාතික මැණික් කර්මාන්ත මධ්‍යස්ථානය ආරම්භ කරන බවත් පැවසීය.

ඒ තුළින් සියලු දෙනාට විදිමත් මධ්‍යස්ථානයක් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

රත්නපුර ජනතා සිහිනය වන රුවන්පුර අධිවේගී මාර්ගය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස යථාර්ථයක් බවට පත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News