විජේවීර ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසෙක්

Share

සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ඉල් මහ විරුවන් බවත් රටේ පහළවූ ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසා රෝහණ විජේවීර බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (13) ගාල්ල සමෝදා ශාලාවේ පැවති 30වැනි ඉල් මහ විරු සමරුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ පහළවූ ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසා විජේවීර සහෝදරයායි.

ඔහුව ඝාතනය කරලා අදට අවුරුදු 30ක් වෙනවා.

ඔහු සමඟ අපේ සහෝදර සහෝදරියන් දහස් ගණනක් එජාප ආණ්ඩුව විසින් ඝාතනය කළා.

ඒ සහෝදරවරුන්ගේ මතකය හැමදාමත් අපේ හදවත් පතුලේ තැන්පතක් වෙලා තිබෙනවා.

එදා ඉන්දියානු හමුදාව ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කළා. අද එවැනි ආකාරයේ ආක්‍රමණයක තර්ජනයක් නොවූවත් විවිධ වර්ගයේ තර්ජන අපේ රටට එල්ල වෙලා.

එනිසා එදා තත්වයයි අද තත්වයයි කියලා වෙනසක් නැහැ.

කොළඹ වරායේ වැදගත්ම කොටස්, හම්බන්තොට වරාය, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවලින් කිහිපයක් අද විදේශිකයන් අතේ.

ත්‍රීකුණාමලය වරායටත් බලපෑම් එල්ල වෙලා. රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන රාශියක් විදේශිකයන් අතේ. මේ දෙගොල්ලම එකතුවෙලා කළේ රට විකුණන එකයි.

අපේ රට විදෙස් බලවතුන්ට යට කළ ගිවිසුම් ගණනාවක් මේ වෙනකොටත් අත්සන් කරලා.

තවත් ගිවිසුම් අත්සන් කිරීමට කැසකවනවා. ඒ නිසා එදාටත් වඩා අපේ රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය අහෝසි වෙමින් තිබෙනවා.

ජාතික සම්පත් බහුජාතික සමාගම්වලට පවරා දීලා. ඉඩම් විශාල ප්‍රමාණයක් රාජපක්ෂ පාලන සමයේ ඇමරිකානු සමාගම්වලට පවරා දුන්නා. කල්පිටිය දූපත් පවා වික්කා.

1988-89 අරගලය කියන්නේ රට පාලනය කළ පාලකයන්ගේ මර්දනයටත් විදේශ ආක්‍රමණයටත් එරෙහිව කරපු අරගලයක්.

ඒ අරගලය වෙනත් ස්වරූපයකින් අද අපට කරන්න වෙලා තිබෙනවා.

රට විකුණන අයම අද දේශප්‍රේමීන් යැයි කියා ගන්නවා. සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ඉල්මහ විරුවන්.

අපේ පක්ෂය, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහය අදටත් පාලකයන් විසින් අත්හැර නැහැ.

වරාය පවරාදීමට එරෙහිව සටන් වැදුණු කම්කරුවන්ට රනිල්ලාගේ ආණ්ඩුව එලව එලවා පහර දීලා අතපය කඩා දැම්මා.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදාට වඩා අරගලයක් අද අපට තිබෙනවා.

අපේ රටේ ආර්ථික විනාශ වී හමාරයි. එය පෙරළා ජන ජීවිතයට පහර පිට පහර දෙමින් තිබෙනවා.

එනිසා අද අරගලයේ අවශ්‍යතාව එදාටත් වඩා වැඩියි.

මෙවැනි අවස්ථාවල අතපය හකුළාගෙන නොසිට ධෛර්යවන්තව සටන් වැදුණු මිනිස්සු තමයි ඉල් මහ විරුවන්.

එවැනි අභිමානවත් අතීතයක් සහිත පක්ෂයක් අපි. අපි සමරන්නේ ඉල් මහ විරුවන්ගේ වීරත්වය පමණක් නෙමෙයි.
ඔවුන්ගේ සියලු ගුණාංග අපේ ජීවිතවලටද ඇතුළත් කරගත යුතුයි.

රට පාලනය කළ සහ කරන මේ කඳවුරු දෙකම අද ඉතිහාසයේ දරුණුම කඩාවැටීමට ලක්වෙලා.

එම පරිසරය ජනතාවට වාසි සහගතයි. මෙම උපරිමයෙන් වැහැරුණු මේ කඳවුරු දෙක පිළිබඳව තවදුරටත් කිසිදු බලපොරොත්තුවක් තබාගත යුතු නැහැ.

එදා අපේ විරුවන් සටන් වැදුණේද මේ කඳවුරු දෙක රටට අත්කර දුන් විනාශයන්ට එරෙහිවයි.

ඔවුන් අවසානයේ තම අමිල ජීවිත පවා පුද කළේ ජනතාව වෙනුවෙන්.

ඔවුන්ගේ ජීවිතවලින් ගත හැකි හොඳම ආදර්ශ තවත් බොහෝ තිබෙනවා.

වත්මන් පරපුරේ අපි එම ආදර්ශ අත්පත් කරගත යුතුයි.

අපේ අවසන් අරමුණු ජයගන්න එය අත්‍යවශ්‍යමයි. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ධෛර්යවන්තව පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා. “

Read more

Local News