ඇවන්ගාඩ් සභාපතිට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 14 වැනිදාට කල්යයි

Share

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 14 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 14 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවා ඇත.

එම අවස්ථාවෙහි බන්ධනාගාර ගත කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පෙබරවාරි මස 14 වන දා යළි විභාගය ආරම්භ කිරීමට නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ලබාදුන් ලිඛිත අනුමැතියෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින අදාළ ලේඛනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා නඩුව දෙසැම්බර් මස 18 වනදා යළි කැඳවන ලෙස ද නියම කර ඇත.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇත.

ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදාවේ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන් බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Read more

Local News