ජන්දයට බදුල්ලේ සූදානම‍

Share

බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 9 තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 523ක් සඳහා ඡන්ද පෙට්ටි, ඡන්ද ස්ථානාධිපතිවරු, ඡන්ද පත්‍රිකා, පොලීසිය සහ සෙසු කාර්ය මණ්ඩලය පිටත් කර හැරීම අද(15) උදෑසන සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි  දමයන්ති පරණගම මහත්මිය මෙම කටයුතු නිරික්ෂණය කළාය.

මෙම ජනාධිපතිවරණය සඳහා 2018 නාම ලේඛනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 657766 දෙනෙකි.

මහියංගණය ඡන්ද ප්‍රදේශයේ ඡන්ද කොට්ඨාශ 76ක්, වියලුව 49ක්, පස්සර 62ක්, බදුල්ල 42ක් හාලිඇල 58ක්, ඌවපරණගම 51ක් වැලිමඩ 61ක් , බණ්ඩාරවෙල 65 ක්, සහ හපුතලේ 59ක් ලෙස මෙම ඡන්ද කොට්ඨාශ ස්ථාපිතකෙරේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 2500ක් යොදවන බව ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ අධික්ෂණය  යටතේ මෙම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජංගම මුර සේවා , මාර්ග බාධක, යතුරු පැදි ඒකකය හා බුද්ධි සේවාවන් යනාදිය ඇතුලත්ව පොලිසිය විසින් විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත්කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන්කිරීම 16 වැනිදා රාත්‍රී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී සහ බදුල්ල විශාඛා විද්‍යාලයේදී ආරම්භකිරීමට නියමිතය .

තැපැල් ඡන්දය ගණන් කිරීම බදුල්ල විශාඛා උසස් විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන18කදී සහ සෙසු ඡන්ද ගණන් කිරීම බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 47කදී සිදුකරන බව ද බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.

Read more

Local News