යළි භාණ්ඩාගාරයට ගෞරවය ගෙන ආ යුතුයි

Share

පැහැදිලි ජනවරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

අද(20) භාණ්ඩාගාරයේ ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ආටිගල මහතා මේ බව පැවැසීය.

“පැහැදිලි ජනවරමකින් රටට නව දැක්මක් සහිත නායකත්වයක් ලැබී තිබේ. දේශීයත්වයේ සුවඳ දැනෙන රාජ්‍ය නායකයකු යටතේ රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබසාධන මත පදනම් ව සියලු දෙනා ඇතුළත්කොට රටඉදිරියට ගමන් කිරීම සඳහා පියවර ගන්නා බව ආටිගල මහතා පැවැසීය.

කලක් මුදල් අමාත්‍යාංශය ගෞරවණීය තත්ත්වයක් උදාකරගෙන තිබූ අතර එහි නිලධාරීන් ලෙස අප ද ඒ ගෞරවයේ කොටස්කරුවෝ වීමු.

එහෙත් පසුව අප නිලධාරීන්ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට,අල්ලස් කොමිසමට සාක්ෂි ලබා දීමට යාමට සිදූවීමත් සමග එම ගෞරවණීය තත්ත්වය නැතිවී ගියඅතර නිලධාරීහු ද තීන්දු තීරණ ගැනීමෙන් වැළකී වගකීම අන් අයට පැවරීමට පුරුදුව සිටියහ.

එසේ කිරීමට මුදල් අමාත්‍යාංශය යනු ක්‍රීඩා පිටියක් නොවේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතීම රට ඉදිරියට ගමන් කිරීමට බාධා පමුණුවන බැවින් නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව නිලධාරීන්ට තිබිය යුතු ය.

ජනතාව පැහැදිලි තීන්දුවක් ලබා දීඇති මොහොතේ අපි නිලධාරීන් ලෙස නිවැරැදි තීන්දු තීරණ ගත යුතු ය. ඔබ ලබා ගන්නා සෑමතීන්දුවක් වෙනුවෙන් ම තමා පෙනී සිටින බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේ ය.

අප මෙහිකාමරවලට වී කොපමණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ ද එම සංඛ්‍යා ලේඛනවලට අදාළ තත්ත්වයන්මහ පොළොවේ යථාර්ථය තුළ දක්නට නොමැති බව පෙනේ.

එබැවින් සංඛ්‍යා ලේඛනවල ඇති දත්ත මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරලීම අපේ යුතුකම ය. සංඛ්‍යා ලේඛන අනුව ඒක පුද්ගල ආදායම ඉහළ තත්ත්වයේ තිබීම පිළිබඳව අප සතුටු වූව ද එය බිම් මට්ටමේ යථාර්ථයක් නොවන හෙයින් සැබෑ ලෙස එම තත්ත්වය ඇති කිරීමට නිලධාරීන් කැපවිය යුතු ය.

අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු අතර නිවැරැදි සහසම්බන්ධතාවක් පවත්වාගෙන යායුතු ය.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් යම් කටයුත්තක් සඳහා මුදල් වෙන් කරද්දී එම මුදල් ලබා දීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව ද ඒ අවස්ථාවේදී ම අනාවරණය කර ගතයුතු ය.

මෙවැනි සහසම්බන්ධතා නිසා පහසුවෙන් භාණ්ඩාගාරය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.

මෙහි දී ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ භූමිකාව ද වැදගත් බවසිහිපත් කළ යුතු ය.

හිත ඇත්නම් පතකුඩා ද යන පැරැණි කියමනට අනුව යමින් අපට මේ රට වැටී ඇති තැනින් රට ගොඩ ගැනීමට අප සියලු දෙනා උත්සහ කරමු.

එය කළ හැකි ය යන්න මාගේ විශ්වාසයයි. ඒ හරහා ජනාධිපතිතුමාගේ සංකල්පය වන රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය සඳහා රටේසියලු කොටස් ඇතුළත් කර  ගත යුතු ය.”

භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම්වරු වන ඒ.එම්.පී.එම්.බී. අතපත්තු,ඒ.කේ. සෙනෙවිරත්න යන මහත්වරු සහ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ.

මීට අමතරව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News