ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්

Share

එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අදාල උපදෙස් ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවිය හැකි බවටය ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වගකිය යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම්දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දර්ශනය පරිදි ජාති භේද, ආගම් භේද සහ පක්ෂ  භේද වලින් තොරව සැමට  සාමකාමීව ජිවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යාමට සියලු විධි විධාන යොදා ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එම නිසා අනිසි බියක් ඇති කර නොගෙන රටේ ජනතාවට සාමාන්‍ය පරිදි ජන ජිවිතය පවත්වාගෙන යා හැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සාමය කඩවන පිරිදි ක්‍රියා කළහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News