ජනපතිගෙන්, නිමල් ලාන්සා ඉල්ලීමක් කරයි

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පූර්ණ අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු එම ඉල්ලීම සිදු කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත ඊයේ(20) ලිපියක් යොමු කරමින්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා මහතා සිය ලිපියෙන් සඳහන් කරන්නේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ තවමත් විපතට පත්වූවන් තුළ දැඩි සැකයක් සහ අපැහැදිලි බවක් පවතින බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිවරයාගෙන් ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පූර්ණ අධිකරණ බලය සහිත කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව එහි සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් පවා සෑහීමකට පත් නොවුණු බව ද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව කිසිඳු දේශපාලන පක්ෂයකට ගැති නොවන ස්වාධීන, විශ්වසනීය මෙන්ම ඒ සම්බන්ධව නිපුණතාවක් දරණ ස්වාධීන පුද්ගලයින්ගෙන් යුතු පූර්ණ අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි  මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ඉල්ලා සිටියේය.

එය කතෝලික ජනතාවගේද ඉල්ලීමක් බව පවසන ලාන්සා මහතා සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සහ ආබාධිත වූවන්ට මෙතෙක් සාධාරණ වන්දියක් ලබා දී හෝ ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකර නැති බැවින් ඊට ද සුදුසු වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසයි.

Read more

Local News