ජනාධිපතිවරණය පැවති කාලසීමාව තුළ සුරාබදු පනත උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණය හේතුවෙන් පසුගිය 16 සහ 17 යන දෙදින තුළදී දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණි.
එම දින දෙක තුළ සුරාබදු නිලධාරීන් දිවයින පුරා වැටලීම් 21 ක් සිදුකර ඇත.
නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මත්පැන් අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම හා තීරු බදු නොගෙවන ලද දුම්වැටි අලෙවි කිරීම සහ ලඟ තබා ගැනීම යන චෝදනාවලට අදාලව එම වැටලීම් සිදුකර ඇති බව සඳහන්.
අදාල වැටලීම් වලදී වරදකරුවන් වූ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට සහ මත්පැන් අලෙවි කල මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



