Home දේශීය පුවත් අලි රොෂාන්ට එරෙහි නඩු විභාගය ලබන 12 වැනිදාට

අලි රොෂාන්ට එරෙහි නඩු විභාගය ලබන 12 වැනිදාට

0
අලි රොෂාන්ට එරෙහි නඩු විභාගය ලබන 12 වැනිදාට

විත්තිකරුවන්ට ලිපි මඟින් අධිකරණය සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවකු ලෙස නම් කර සිටින වන ජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි මහතාට අවවාද කර තිබේ.

 

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගනීමෙන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි මහතා වෙත මෙම අවවාද කිරීම සිදුකළේය.

මෙම නඩුව අද(09) විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර උපාලි පද්මසිරි නමැත්තා ලිපියක් මගින් අධිකරණය වෙත විත්තිවාචකයක් ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය විය.

එමෙන්ම එම විත්තිකරු වෙනුවෙන් අද දින අධිකරණය හමුවේ නීතිඥවරයෙකු ද පෙනී සිටියේ නැත.

රජයේ වියදමින් නීතිඥ වරයෙකු පත්කිරීමට අවශ්‍යදැයි විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ඊට එකඟතාව පළ නොකළේය.

අධිකරණයට යමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විත්තිකරුට අවවාද කළ විනිසුරු මඩුල්ල මීළඟ දින නීතිඥවරයෙකු සමඟ අධිකරණය හමුවේ නඩු විභාගය සදහා පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නඩු විභාගය ලබන 12 වෙනිදා ආරම්භ කරන බවත් එතැන් පටන් නඩුව දිගටම විභාගයට ගන්නා බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here