කෘෂි අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමට විමර්ශනයක්

Share

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බව මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු පැවසුවේ, අමාත්‍යාංශය සඳහා ඉදි වූ ගොවිජන මන්දිරය තිබියදී නව ගොඩනැගිල්ලක් ලබා ගැනීම තුළින් රජයේ මුදල් අවභාවිත වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන්නැයි ජාතික විගණන කොමිසමට දැනුම්දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදාළ විමර්ශනය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය වුවහොත්, කැබිනට් අනුමැතියට යටත් ව පෞද්ගලික විගණන ආයතනයක් ද සම්බන්ධ කරගැනීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව දැනට රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ ස්ථානයට රැගෙන යාම සඳහා පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යටතේ ඇති ගොවිජන මන්දිරය වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේ කොටසක් ගෙනයාමට සැලසුම් කර ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ දැනට පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල සඳහා තව ත් වසර 2 ක බදු කාලයක් ඉතිරිව ඇති හෙයින් එම පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර බදු පදනම් යටතේ පවත්වාගෙන යන සියලු ආයතන බදු කාලය නිමවීමෙන් පසු එම ආයතන වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිලි වෙත යළි රැගෙන යාමට අපේක්ෂා කරන බව ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

Read more

Local News