පුත්‍රයාගේ විවාහට සහභාගි වෙන්න පූජිත් අවසර ඉල්ලයි

Share

රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද (17) නියම කළේය.

 

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්දනාගාර කර සිටියි.

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයැදුම්පතක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ජනවාරි මස 02 වන දා පෙරවරු 6.30 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බවත් ඊට අනුබද්ධ උත්සවයක් එදිනම සවස 7 ට මීගමුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන බවත්ය.

එම උත්සවයට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරනමෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජිතයන් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා එහෙත් එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද විවෘත අධිකරණයේ නියම කළේය.

අනතුරු ඇප පෙත්සම ජනවාරි මස 09 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන්නැයි වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමද අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියම කළේ එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 9වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

Read more

Local News