එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ සිද්ධියට අදාල නඩු විභාගයට දින නියම වෙයි

Share

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල නඩුව පෙබරවාරි මස 20 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  නියම කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකථන අංක දහයකට අදාළ දත්ත වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එම දත්තවලට අදාළ වැඩිදුර විස්තර  ලබන විසි වෙනදට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සියලුම දුරකථන දත්ත ලබන විසි  වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම දත්ත විත්ති පාර්ශව වෙත ලබා දෙන බව ද සඳහන් කළේය.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින අයියාසාමි බාලසුබ්‍රමනියම් ඉකුත්දා පෞද්ගලික ඇපයක්  මුදාහැරුණ ද ඔහු විසින් නිසි අපකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම විත්තිකරු අත්අඩංගුට ගන්නා ලෙස දන්වා පරිමිත නිකුත් කිරීමට සිදු වූ බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණයේ චෝදනා සිටියේය.

අධිකරණයෙන් පිටව යාමට ලබාදී තිබෙන නිදහස විත්තිකරු විසින් හෑල්ලූවට ලක්කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා විත්තිකරු මේ ආකාරයෙන් ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ නම් ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහු අද දින නිසි ඇපකරුවන් ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ ඇපකරුවන් භාර ගැනීමෙන් පසුව විත්තිකරු  මුදාහරිණ ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 20 වනදා ආරම්භ කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ ද යන්න සලකා බැලීම සඳහා මෙම නඩුව නැවත ජනවාරි මස 20 වනදා කැඳවීමට නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්  ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්  නව දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Read more

Local News