තමන්ගේ දේශපාලන ගමන නතර කිරීම සඳහා ඇතැම් පිරිස් විවිධ මඩ ප්‍රහාර එල්ලකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අද(18) උදෑසන මහනුවරට පැමිණ මල්වතු මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජගිරිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද උදැසන මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවා.
අනතුරුව මන්ත්‍රීවරයා පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන්ද බැහැ දැක මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ජනමාධ්‍ය පාවිච්චි කරමින් චරිත ඝාතනය කිරීමට ගෙන යන වැඩපිළිවෙල හා නීතිය අවනීතිය බවට පත් කර සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය තුළ බොරු සාක්ෂි සකස් කර හැකිනම් සිරගත කර දේශපාලන ගමන් මඟ නැවැත් වීමට ගන්නා උත්සහය ගැන මහනාහිමිවරු දැනුවත් කර බවයි.
“දරුවෙක් යට කර ගෙන ගියා“ යනුවෙන් පැවසුවත් සැබවින්ම සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පැයට කිලෝමීටර 15 ක වේගයෙන් ගිය වාහනයක පිටුපස වැදීමක් බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එයින් කවුද අනතුර සිදු කළේ යන්න පැහැදිලි වී ඇතැයි ද පැවසීය.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට රස පරීක්ෂණ වාර්තාවක් ලබා දුන් බවත් පසුව අධිකරණය මේ ගැන නඩු වාර ගණනාවක් පවත්වා විමර්ශනය කර පසුව තමාව මෙයින් නිදහස් කර අදාළ රියදුරුවරයාට දඩයක් පවරා මෙම නඩුව අවසන් කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, මෙම නඩුව නැවත ආරම්භ කර ඇත්තේ කෙසේ දැයි කියා සිටියේය.
මෙහි අරමුණ වී ඇත්තේ රියදුරුවරයා බිය වද්දා සාක්ෂි වෙනස් කර තමා අත්අඩංගුවට ගෙන කටයුතු කිරීම බවද පැවසු ඒ මහතා, කුමන පරීක්ෂණයක් සිදුකලත් එය ගැටළුවක් නොවන බවත් එය නීතියානුකූලව කළ යුතු බවත් පැවසීය.



