ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිළධාරිනිය අත්අඩංගුවට ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නෂියෝ කැසීස් මහතා දැනුවත් කර ඇත.
ඊයේ පස්වරුවේ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාව දුරකථනය ඔස්සේ අමතමින් අදාල දැනුවත් කිරිම සිදු කර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
දණ්ඩ නීති සංග්‍රහයේ රජයට අප්‍රසාදය පල කිරිම පිළිබඳ සාපරාදී චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 වගන්තිය යටතේ අදාල නිළධාරිනිය අතඅඩංගුවට ගැනීම සිදු කර ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් රටේ නීතියට අනුව ඇය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ලබන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ෆ්‍රැන්සිස් මහත්මියට සියලු පහසුකම් ලබාදී ඇති අතර ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට සහතික වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අවධානය යොමු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ජාතික නීතිය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කර ඇති බවයි.
සිද්ධිය පළමුවෙන් වාර්තා වූ දිනයේ සිට ෆ්‍රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිම දක්වා කාලය තුළ ගෙන ඇති සියලු පියවර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සිදු කර ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
දෙරට අතර ඇති ද්විපාර්ශක සබඳතා සැලකිල්ලට ගනිමින් අදාල ක්‍රියාවලිය කඩිනම් කිරිම සඳහා ගත හැකි සෑම සහයෝගක්ම ලබා දෙන බව ස්විසර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නිෂියෝ කැසීස් මහතා මෙහිදී ප්‍රකාශ කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය අද දිනයේ අංගොඩ මානෂික විද්‍යා ආයතනය වෙත යොමු කිරිමට නියමිතව ඇත.
අද පෙරවරුවේ ඇය පරික්ෂණයක් සඳහා එම ආයතනය වෙත යොමු කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබුණි.



