දේශීය කලාව සහ කලාකරුවාට ජනපතිගෙන් සහතිකයක්

Share

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

 

අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තූතිය පුද කිරිම උදෙසා හමුව සංවිධානය කර තිබිණි.

කලාකරුවන්ට ඉදිරියේ දී පහසුකම් රැසක් සළසා දිමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය ඉකුත් සමයේ නිසි ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබිණි.

මේ අනගි නිර්මාණය දේශීය කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ද ජනාධිපතිවරයා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේ දී කලාකරුවන්ට ද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප්‍රවීණ කලාකරුවෝ රැසක් හමුවට එක්ව සිටියහ.

Read more

Local News